ලංකාතිලක රජමහා විහාරය

2024 අප්‍රේල් මස 26 ප.ව. 01:38 - {{hitsCtrl.values.hits}}  

උඩුනුවර හියරාපිටිය නම් ගමේ පැන්හැල්ල නම් පර්වතයේ මෙම පුදබිම පිහිටා ඇත. මහනුවර- කොළඹ ප්‍රධාන මාර්ගයේ පිළිමතලාව පසු කොට මීටර් 50 ක් පමණ ගොස් මාර්ගයට දකුණුපසින් පිහිටි දවුලගල මාර්ගයේ සැතපුම් 4 ක් පමණ ගිය විට හමුවන මංසන්ධියෙන් දකුණට දිවෙන මාර්ගයේ ගිය විට මෙම ස්ථානය හමු වෙයි. ලංකාතිලක විහාරය ආශ්‍රිතව මෙම විහාරය ගොඩනැගුණු ආකාරය පිළිබඳ තොරතුරැ ඇතුළත් ශිලාලේඛන දෙකක් දක්නට ලැබෙයි. 
ඒවායින් පර්වත ලිපියේ ගම්පල හතරවන බුවනකබාහු  රජතුමාගේ රාජ්‍ය සමයේ මෙම විහාරයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සිදු වූ බව සඳහන් වෙයි. එමෙන්ම තුන්වන පරාක්‍රමබාහු රජුට අයත් ද්‍රවිඩ සෙල්ලිපියේ සේනාධිලංකාර නම් සෙනෙවියා විසින් ස්ථපතිරායර නම් වාස්තුවිද්‍යාඥයා ලවා මේ විහාරය කරවන ලද බව සඳහන් කරයි. 

විහාරයේ තතු
රමණීය පරිසරයක පිහිටා ඇති ලංකාතිලක රජ මහා විහාරය නෙත් සිත් වශීකිරීමට සමත් කලා නිර්මාණයකි. සිව්මහල් ගොඩනැගිල්ලක් වූ ලංකාතිලක විහාරයේ වර්තමානයේ දක්නට ලැබෙන්නේ මහල් දෙකක් පමණි. වරින් වර ප්‍රතිසංස්කරණ වලට භාජනය වී ඇති බව පෙනී යයි. දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පය මුසු කර ගනිමින් දේශීය සම්ප්‍රදායකට අනුව නිර්මාණය කරන ලද්දක් බව මහාචාර්ය නන්දසේන මුදියන්සේගේ මතයයි. විහාරය හේවිසි මණ්ඩපය, අන්තරාලය, ගර්භ ගෘහය යන අංගයන්ගෙන් සමන්විතය. මෙය අඩිතාලම හැරැණු විට සම්පූර්ණයෙන් ගඩොලින් ඉදි කරන ලද්දක් වේ. 
ප්‍රතිමා ගෘහය
ප්‍රතිමා ගෘහය වටා සතර දිශාවෙන් උපුල්වන්, විභීෂණ, ස්කන්ධ, ගනේෂ යන දෙවිවරැන්ගේ රෑප දක්නට ලැබෙයි. එම ස්ථානයන්ට පිවීසීම සඳහා දොරටු සතරකි. විහාර ගෙය අභ්‍යන්තරයේ මහනුවර යුගයට අයත් සිතුවම් දක්නට ලැබෙයි. සූවිසි විවිරණය, පිරිනිවන් මංචකය වැනි තේමා ඔස්සේ සිතුවම් ඇඳ ඇත. 
විහාර භූමියේ ඇති වාහල්කඩ දෙපසින් ගල්කණු 16 ක් මත විශාල බාල්ක යොදා ඉදිකර පෙතිඋළු සෙවිලි කරන ලද්දකි. 2007 වර්ෂයේ ලංකාතිලක විහාරයේ වාහල්කඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කරන ලදි. 1949.12.16 දිනැති අංක 10054 දරණ අංකය යටතේ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙය ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

දින පොත