2025 මැයි මස 16 ප.ව. 08:09 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ පිහිටි, අප්‍රකටව පවත්නා සුන්දර ස්ථාන 12 ක් නිරූපණය කරන රුපියල් 25.00 බැගින් වූ වටිනාකමින් යුත් නව තැපැල් මුද්දර 12 ක් සහ සිහිවටන පත්‍රිකා 03 ක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් 2016 දෙසැම්බර් මස 02 වැනි දින නිකුත් කරනු ලැබේ.
බඹරකැලේ ඇල්ල නමින්ද හඳුන්වන මෙය ශ්‍රි ලංකාවේ උසම දිය ඇල්ල වේ. උස මීටර් 263 කි. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පිහිටා ඇත. A4 මාර්ගයේ කලුපහන හන්දියෙන් හැරී කි.මී. 5 ක් පමණ දුරක් ගෙවා මෙම ස්ථානයට ලගා විය හැකිය. මෙය වලවේ ගඟෙහි අතු ගංඟාවකි.
ග්‍රීක සම්ප්‍රදායට අයත් ඩොරික් කුළුණු භාවිතයෙන් ඉදිකිරීම නිසා ඩොරික් ගොඩනැගිල්ල ලෙස මෙය හඳුන්වනු ලබයි. ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වන ෆ්‍රෙඩ්රික් නෝර්ත් (ක්‍රි.ව. 1798 – 1805) මන්නාරම ප්‍රදේශයේ මුතු කැඩීමේ කටයුතු සොයා බැලීමට පැමිණි විට මෙහි වාසය කළේය. 1802 දී ඉදිකර ඇති ගොඩනැගිල්ලක් වන මෙහි පහත මාලයේ කුඩා නිදන කාමර හතරක් තිබී ඇති අතර වර්තමානයේ කාමර 02ක් පමණක් පැහැදිලිව හඳුනාගත හැකිය.
ඉහළ මහලට නැගීමට සකස්කළ පියගැටපෙළක් ගොඩනැගිල්ලේ මධ්‍යයන් වේ.මෙම ගොඩනැගිල්ලේ පසුපස කොටස මුහුදු ඛාදනය හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුහුදට කඩා වැටී ඇත. ගොඩනැගිල්ල ගඩොලින් නිමවා හුණු බදාමෙන් කපරාරු කර ඇති අතර ගොඩනැගිල්ලේ සියලු දොර ජනෙල් ආරුක්කු සහිතව නිර්මාණය කර ඇත.
මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරිප්පු නැගෙනහිර ග්‍රාම නිළධාරී වසමේ මෙම ස්ථානය පිහිටා ඇත. කොළඹ සිට මැදවච්චිය හරහා A 14 මාර්ගයේ මුරුන්කන් හන්දියට පැමිණ සිලාවතුර මාර්ගයේ කිලෝමීටර් 12 පඑණ ගමන්කර සිලාවතුර - අරිප්පු මාර්ගයේ කිලෝමීටර් 2.5 ක් පමණ ගමන් කිරීමෙන් මාර්ගයේ වම් පසින් පිහිටි මෙම ස්ථානයට ළඟා විය හැකිය.
යාපනය අර්ධද්වීපයේ කයිට්ස් සහ කරතිව් දූපත්වලට මැදිව පිහිටි කුඩා දූපතක ඉදිකරන ලද බලකොටුවකි. 17 වන සියවස මැද භාගයේදී පෘතුගීසින් විසින් ඉදි කරනු ලැබ ඇත පෘතුගීසින් විසින් Fortalega Real (Fort Royal) ලෙස නම් කර ඇති මෙය 1680 දී ලන්දේසීන් විසින් නැවත ගොඩ නගා Hammenheil (Heal of the Ham) ලෙස නම් කර ඇති අතර වර්තමානයේ මෙය සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කර ඇත.
හුම්මානය වූ කලී ශ්‍රී ලංකාවේ පිහිටි එවැනි වූ එකම නිර්මාණ වන අතර ලොව ඇති මෙවැනි වූ දෙවැනි විශාලතම නිර්මාණය ද වේ. මෙයින් හූ ගා හඬ නැංවෙන බැවින් ඊට හුම්මානය යන නම ලැබී ඇත.
සුවිසල් පර්වතයක පිහිටි කුඩා විවරයක් තුලින් වේගවත් මුහුදු රළ හේතුවෙන් ජල ධාරාවක් ඉහළට විසිවීමෙන් ඇතිවන දසුන චමත්කාරය දනවයි. මුහුදු රළ පහර සැඩ අවස්ථාවන්හිදී හුම්මාන ජල කඳ මීටර් 25 - 30 ක් පමණ ඉහළට විහිදෙයි. කොළඹ සිට A2 මාර්ගයේ කිලෝමීටර් 180 ක් පමණ ගොස් කුඩාවැල්ල මංසන්ධියෙන් හැරී කිලෝමීටර් 2ක් පමණ දුරින් හුම්මානය පිහිටා ඇත.
පුනරීන් අර්ධද්වීපයේ, පුනරීන් සිට කව්තාරිමුනේ දෙසට ගමන් ගන්නා විට මෙම වැලිකඳු දැක ගත හැකිය. කොළඹ සිට කි.මී. 370ක් පමණ දුර ගෙවා මෙම ප්‍රදේශයට ළඟා විය යුතුය.
ඩෙල්ෆ්ට් දූපතේ වන අශ්වයින් 450 ක් පමණ වාසය කරතැයි විශ්වාස කෙරේ. අතීතයේ දී බහුල අශ්ව ගහණයක් තිබී ඇති බවත් පෘතුගීසින්ගේ ආගමනයෙන් පසු අශ්ව ගහණය කෙමෙන් අඩුවන්නට ඇති බවත් වාර්තා වේ.
කොළඹ සිට A4 මාර්ගයේ ගමන්කර සියඹලාන්ඩුවෙන් හැරී A 25 මාර්ගයේ ගමන් ගන්නා විට ගෝවින්දහෙලට ළඟා විය හැකිය. මෙම ස්ථානයට කොළඹ සිට දුර කි.මී. 310 ක් පමණ වෙයි. 13 වන සියවසේදී මෙය යාපහුව රාජධානියට සමකාලීනව බලකොටුවක්ව පැවති බවට සාධක හමුවෙයි.
පර්වතයේ උතුරු බෑවුමේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පුර්ව බ්‍රාහ්මි සෙල්ලිපි සහිත හා රහිත ගල්ලෙන් සමුහයක්ද සංඝරාම ගොඩනැගිලි කිහිපයක නෂ්ඨාවශේෂ ද දක්නට ලැබේ.
පර්වත මුදුනෙහි අක්කර පහකට අධික සම බිමක් වේ. මෙම ප්‍රදේශයෙන් අලංකාර ලෙස කැටයම් කළ සඳකඬපහණක් ද කැටයම් රහිත සඳකඩ පහනක්ද ගලෙහි ආයාසයෙන් හාරා ඇති පොකුණු දෙකක් ද දැකිය හැකි වේ.
කොළඹ සිට කි.මී. 180 ක් පමණ දුරිකින් පිහිටා ඇති මෙයට පස්සර නගරයෙන් හැරී පිටමාරුව මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් ළඟා විය හැකිය. හෝර්ටන් තැන්න ආශ්‍රීතව පිහිටි ලෝකාන්තයට පමණක් දෙවැනි වන මෙහි ගැඹුර අඩි 1257 කි. උමං ඔය, බඔරබොටුව සහ කැකුණගල යන දිය ඇලිද, මෙහි මුදුනට අසිරිමත් ලෙස දර්ශනය වේ.
ඩෙල්ෆ්ට් දුපතේ ආලමානවම් ප්‍රදේශයේ පිහිටා ඇති මෙය ලන්දේසීන් විසින් ඉදිකරන ලද ප්‍රදීපාගාර කුළුණක් ලෙස සැලකේ. අඩි 50කට වැඩි උසකින් යුත් මෙය හතරැස් හැඩයක් ගන්නා අතර ඉහළට යාමේදී ප්‍රමාණයෙන් කුඩා වන පරිදි තට්ටු පහකට නිමවා ඇත. පහළ කොටසෙහි උතුරු - දකුණු දිශාගතව ආරුක්කු හැඩති දොරටුවක් දක්නට ලැබේ. කපා සකසන ලද හුණුගල් කුට්ටි භාවිතා කොට මෙම ඉදිකිරීම සිදු කොට ඇත.
ඉඟිනියාගල කඳු යා කොට ගල්ඔය හරහා වේල්ලක් ඉදි කිරීමෙන් සේනානායක සමුද්‍රය නිර්මාණය කොට ඇත. වර්ෂ 1949 – 1953 කාලයේදී මෙය ඉදිකර තිබේ.
අක්කර අඩි 770,000 ක (ඝණ මීටර් 9.5 × 108) ජල ධාරිතාවක් රැස්කර තැබිය හැකි මෙහි පෝෂක ප්‍රදේශය වර්ග සැතපුම් 384 කි. අක්කර 110,000 කට වැඩි ප්‍රදේශයක වගා කටයුතු සඳහා මෙයින් ජලය බෙදා හැරේ. වර්ග කි.මී. 91 ක් පුරාවට මෙම ජලාශය පැතිර තිබේ.
තලෛයිමන්නාරම පැරණි ජැටිය අසල පිහිටි ප්‍රදීපාගාරය 1915 දී ඉදිකරන ලද්දකි. එහි උස මීටර්19 කි. මන්නාරම නගර ප්‍රාදේශීය කොට්ඨාසයේ ඕල්ඩ්පියර් ග්‍රාමයේ මෙම ස්ථානය පිහිටා ඇත. කොළඹ සිට මැදවච්චිය හරහා A 14 මාර්ගයේ මන්නාරම නගරයට පිවිස මන්නාරම - තලෛයිමන්නාරම මාර්ගයේ කිලෝමීටර් 28 ක් පමණ ගමන්කර දුම්රිය ස්ථාන හන්දියෙන් වමට හැරී කිලෝමීටර් 1.5 ක් පමණ වෙරළට පැමිණ වෙරළ දිගේ මීටර 600ක් පමණ දුරක් ගමන් කිරීමෙන් මෙම ස්ථානයට ළඟා විය හැක.
ගොඩබිම සිට මුහුද දෙසට උතුරු දකුණු දිශානුගතව ඉදිකොට ඇති ජැටියේ යකඩ කණු 12 ක් වර්තමානයේ දැකිය හැකිය. කණු 02 ක් සමාන්තරව සිටුවා ඒ මත ජැටිය ඉදි කර ඇති අතර, කණුවක වට ප්‍රමාණය මීටර් 1.5ක් සහ උස මීටර් 2.2 ක් පමණ ද වේ. කණු 02 ක් අතර පරතරය මීටර් 5.8 කි. ජැටියේ පළල මීටර් 7.8 කි. මෙම ජැටිය වසර 100 කට වඩා පැරණි එකක් වන අතර, මෙහි බොහෝ කොටස් මුහුදු ජලය සහ මුහුදු සුළඟ හේතුවෙන් ඛාදනය වී ඇත.
කොළඹ සිට කිලෝ මීටර් 200 පමණ දුරකින් පිහිටි කුදිරමලේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉහළ සිමාවේ තුඩුවක් ලෙසින් පිහිටා ඇත. විල්පත්තු වනෝද්‍යානයේ බටහිර කෙළවරේ පිහිටි මෙම ප්‍රදේශය ඓතිහාසික වටිනාකම් රැසකට උරුමකම් කියයි.
ක්‍රි.පු. 543 දී විජය කුමරු සහ පිරිවර දිවයිනට ගොඩබට ස්ථානයද මෙම ප්‍රදේශය බවට සැළකේ.
මැටි භාණ්ඩවල සුන්බුන්, ගඩොල් කැබලි ආදි නොයෙකුත් සාක්ෂි වලින් මෙම ප්‍රදේශය මෙසෝලිනික යුගයේ පමණ සිට ජනාවාසව පැවතී ඇති බව තහවුරු කරයි.
![]() |
diary Read more... |