2025 මැයි මස 17 ප.ව. 02:37 - {{hitsCtrl.values.hits}}
ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් වසර තුන් දහසකට වඩා වැඩි බවට අනුමාන කරන සුසාන භූමියක නෂ්ටාවශේෂ මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාල භූමියේ සිදුකළ කැණීමකදී සොයා ගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල කටුගම්පොල මහතා සඳහන් කරයි.
දෙවලපොළ පාසල් බිමේ ඉපැරණි සුසාන භූමියක් පැවැති බවට ගම්වාසීන් අතර පැවැති තොරතුරක් මත කරනු ලැබූ දැනුම් දීමක් අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල අවසරය ඇතිව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කටුගම්පල මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා ප්‍රකාශන අංශයේ මූල්‍යමය අනුග්‍රහය මත මෙම කැණීම් කටයුතු ආරම්භ කරන ලද්දේ පසුගිය 15 වැනිදාය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම බෝගහවත්ත, පුරාවිද්‍යා පශ්චාත් උපාධි අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් බණ්ඩාර දිසානායක මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම කැණීම් සිදුකරන ලදී.
දෙවලපොළ පාසල්ට ඇතුළු වන ප්‍රවේශ මාර්ගයේ කොටසක් මෙසේ කැණීම්වලට ලක් කිරීමේදී මැටි කුටීරවලින් නිමැවූ සුසාන භූම්ය පොළොව මට්ටම ආසන්නයේදීම හමුවී ඇත. පොලොවේ ඔරුවක් හැඩය ඇතිව මැටි ගසා සාදන ලද බරණි තුළ මැටි මුට්ටි කිහිපයක අලූ දමා තැන්පත් කර තිබියදී හමුවී තිබේ.කීප දෙනෙකුගේ දේහයන් දැවීමෙන් පසු ඉතිරිවූ අළු මෙම මුට්ටිතුළ ඇති බව විශ්වාස කෙරේ.
මෙවැනි සුසාන භූමි තෙත් කලාපයේ හා අන්තර් සංක්‍රාංතික මධ්‍ය කලාපයේ දැකිය හැකි බව ආචාර්ය මංගල කටුගම්පොල මහතා සඳහන් කළේය.
මෙවැනි සුසාන භූමි උඩරංචමඩම, කලෝටුවාව ප්‍රදේශයන්ගෙන් සොයා ගෙන ඇති බවත් ගස්පේ ප්‍රදේශයේ ඇති බවට වාර්තාවී ඇති බවද කටුගම්පොල මහතා පවසා සිටියේය.
දැනට හමුවී ඇති කෙටස් භෞතික ලක්ෂණ අනුව වසර තුන් දහසකට වඩා පැරණි බවට අනුමාන කළ හැකි යැයිද මෙම පර්යේෂණය තුළින් විධිමත් කාල නිර්ණයක් තීරණය කිරීම, හමුවී ඇති අවශේෂ කොටස්වලින් එදා ජනතාව ජීවත්වූ අන්දම ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතික ලක්ෂණ හා සමාජීය පසුබිම හෙළි කරගැනීමටත්, එහි ඓතිහාසික බව හෙළි කරගෙන එම දැනුම සමජාජගත කිරීම අරමුණු කර ඇතැයිද කටුගම්පල මහතා සඳහන් කළේය.
මේ වනවිට විශාල ප්‍රමාණයේ කුටීර දෙකක් මතු කරගෙන ඇතිඅතර, ඒවායේ තිබී අගුරු මැටි මුට්ටිහා පාෂාණ කොටස් හමුවී ඇත.(අද පුවත්පත)
![]() |
diary Read more... |