අවුරුදු 4 සම්පූර්ණ කරන දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්යයි
- 2023-09-27 14:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නොමිල අධ්‍යාපනයක් සහිත ලොව අතළොස්සක් රටවල් අතරට එක් වන මෙරට රජය, පළමු ශ්‍රේණියේ සිට ප්‍රථම උපාධිය තෙක් නොමිලේ ලබා දෙන නිදහස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් පුළුල් කරමින් සිව් වයස් සපුරන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ සඳහා මුදල් ගෙවිය නොහැකි දරුවන් වෙනුවෙන් රජය මැදිහත් වන අතර අවශ්‍යතාව මත ඉඩකඩ පවතින ප්‍රාථමික පාසල්වල පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පැවැත්විය හැකි බවත් වැසී යාමේ අභියෝගයකට මුහුණ පා ඇති පාසල්වලට ද එය යම් විසඳුමක් වන බවත් පැවසූ අමාත්‍යවරයා අධ්‍යාපන පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමේ මූලික ම පියවර වන්නේත් මෙරට දරුවන්ගේ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධනය යැයි ද කී ය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘සුව දිවියයි සතුටු සිතයි’ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය දියත් කිරීම වෙනුවෙන් බත්තරමුල්ල ‘වොටර්ස් එජ්හි’ දී පැවති වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
එහි දී මෙරට පෙරපාසල් අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට සමාන්තර ව විධිමත් ලෙස ප්‍රමිතිගත කිරීමේ දී ‘පෙරපාසල යනු පාසල් යාමට පෙර යන තවත් පාසලක්’ ය, යන ආකල්පය සහමුලින් ම වෙනස් කළ යුතු ව ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙරට පාසල් පෝෂණ වැඩසටහන සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් කියා සිටියේ, 2023 වර්ෂයට සාපේක්ෂ ව සමස්ත ශිෂ්‍ය ගහනයෙන් වැඩි සිසුන් පිරිසකට දිවා ආහාර ලබා දෙමින් මේ වන විට දිවා ආහාර ප්‍රතිලාභ ලබන සිසුන් සංඛ්‍යාව 2024 වර්ෂයේ දී වැඩි ප්‍රතිශතයකින් ඉහළ නංවන බවයි.
එසේ ම දරුවන්ට පොත්පත් පාසලේ තබා නිදහසේ නිවසට ගිය හැකි පරිදි අනවශ්‍ය බරකින් යුත් පාසල් බෑගයක් ඔසවාගෙන යෑමේ අවස්ථා නැති කර ගුරු-සිසු සැමට ප්‍රබෝධජනක ලෙස පන්ති කාමරය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නියැලීමේ අවකාශ උදා කරලීමට ක්‍රියා කරන බවත් පැවසූ අමාත්‍යවරයා මුදල් ගෙවා සපයන අධ්‍යාපනයක් සමග නිදහස් අධ්‍යාපනය සැසඳීමේ දී එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු බව ද සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට අධ්‍යාපන, සෞඛ්‍ය යන අමාත්‍යාංශවල නිලධාරීන්, පළාත් හා කලාපවල අධ්‍යාපන ආයතනවල ලේකම්වරුන් මෙන් ම අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසේෆ්, ලෝක ආහාර වැඩසටහන, ‘සේව් ද චිල්ඩ්රන්’ යන ආයතනවල නිලධාරීහු ද සහභාගි වී සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments