ගසක අත්තක් වැටී සිසුවෙක් මිය යාම ගැන පරීක්ෂණයක්

2025 ජුනි මස 15 ප.ව. 06:02 - {{hitsCtrl.values.hits}}  

බලංගොඩ රජවක මහ විදුහලේ සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙසත්, අනාරක්ෂිත බවට සැක කරන ගස් පාසල් භූමිය තුළ ඇති නම් වහාම ප්‍රාදේශිය ලේකම්ට සහ දැව සංස්ථාවට දැනුම් දෙන ලෙසත් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

බලංගොඩ රජවක මහා විද්‍යාලයේ බෝ ගසක කොටසක් කඩා වැටීම හේතුවෙන් සිදු වූ හානිය නිරීක්ෂණය කරමින් වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා මේ බව සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කර මූලික විමර්ශනයක්  සිදු කරන ලෙසත්, එහි වාර්තාව සතියක් තුළ ලබා දෙන ලෙසත්, එම වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට පැවසීය. 

මේ සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරීමක් සිදුවී ඇතිද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා  නිලධාරීන්ට දන්වා සිටියේය. විනාශ වු ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරිමට අවශ්‍ය කටයුතු සලසන ලෙසද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අතිරේක පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඉදිරි විමර්ශන සිදු කරන බව  සබරගමුව පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය පැවසීය.

මේ වන විට බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අනතුරට පත් දරුවන්ගේ සුවදුක් විමසීමට ද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා කටයුතු කළේය. අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ පිරිසෙන් හය දෙනෙකු පමණක්  රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඉතිරි පිරිස ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්  බලංගොඩ මූළික රෝහලේ වෛද්‍ය අධිකාරී  කේ. ඒ. එල්. එල්. කේ ආරච්චි මහතා පැවසීය.  ප්‍රතිකාර ලබන දරුවන් වෙත සුරක්ෂා රක්ෂණාවරණය මගින් වන්දි ලබා දීම හෝ අවශ්‍ය කටයුතු සිදු කිරීම කඩිනම් කරන ලෙස මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

අනතුරුව මෙම සිද්ධියෙන් ජීවිතක්ෂට පත්  බලංගොඩ, බිබිලේවෙල ප්‍රදේශයේ පදිංචි කලා අංශයේ ඉගෙනුම ලැබූ කිවිර හිරුජය නැමැති 17 හැවිරිදි සිසුවාට අවසන් ගෞරවය දැක් වීමට නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහභාගී විය. සිද්ධිය සම්බන්ධයෙන් රජයේ කණගාටුව ප්‍රකාශ කළ  නියෝජ්‍ය අමාත්‍යතුමන් මියගිය දරුවා වෙනුවෙන්  අධ්‍යාපන අමාත්‍යංශයේ සහ අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් එම පවුලට සාධාරණයක් ඉටු කරන ලෙසත් දන්වා සිටියේය.

සිසුවාගේ අවසන් කටයුතු අද දින සිදු කරන අතර අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පළාත් සභාව ඒ වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කරන ලෙසද නියෝජ්‍ය අමාත්‍ය  මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

දරුවන් ගේ ආරක්ෂාවට මූලික තැනක් ලබා දිය යුතු බවත්, පාසල තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගස් තිබේ නම්  වහාම ප්‍රාදේශීය ලේකම්ට, දැව සංස්ථාවට සහ පළාත් අධ්‍යාපන කාර්යාලයට දැනුම් දෙන ලෙසත්, අදාල අංශ ඒ වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙහිදී පැවසීය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...