ජෛව සංරක්ෂණ සංගමය සහ රෆඩ් ආයතනය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණයට අතදෙයි

2024 මාර්තු මස 29 ප.ව. 06:07 - {{hitsCtrl.values.hits}}  

ජෛව සංරක්ෂණ සංගමය (BCSL), එංගලන්තයේ රෆඩ් (The Rufford Foundation) ආයතනයේ සහයෝගය මත සංවිධානය කරන ලද තෙදින ජෛව විවිධත්ව සංරක්ෂණ සමුළුවක් ඉකුත් දා මහනුවර ඕක්රේ  රීජන්සි හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණය හා ඊට අදාළ පර්යේෂණ ප්‍රතිපල එළිදැක්වීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම සමුළුව, ". ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සුරකිමු " මැයෙන් නම් කර තිබූ අතර, මෙහිදී දේශණ සහ පර්යේෂණ ප්‍රතිපල 30 කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් කෙරිණි.

ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා මෙහිදී පිළිගැනීමේ කතාව සිදුකරමින් පැවසුවේ රෆඩ් ආයතනයේ දායකත්වයෙන් සිදුකරන ලද මෙම ජෛව විවිධත්ව සංරක්ෂණය හා ඊට අදාළ පර්යේෂණ මගින් තරුණ පර්යේෂකයින් රැසකට නවක පර්යේෂණ ප්‍රතිපල රැසක් ජනගත කිරීමට අවස්ථාව උදාවී ඇති බවයි.

ශාක හා සත්ත්ව යන කාණ්ඩ දෙකේම වැදගත් පර්යේෂණ රැසක් මෙම දායකත්වය යටතේ සිදුකරන්නට හැකි වූ බවද, තවත් අතකින් මෙම අවස්ථාව මගින් රටට විදේශ විණිමය උපයාගැනීමේ අවස්ථාවක් නිර්මාණය වූ බවයි.

මෙහිදී ආධුනික පර්යේෂකයින් සඳහා මෙන්ම, ක්ෂේත්‍රයේ පළ පුරුදු පර්යේෂකයින් සඳහාද පර්යේෂණ අවස්ථා ලැබී තිබුණු අතර, සමුළුවේදී වන හා වන ජීවී ක්ෂේත්‍රෙය් මෙන්ම, පරිසර හා ජෛව විවිධත්ව ක්ෂේත්‍රයේද ප්‍රවීණයෝ රැසක් අදහස් දැක්වුහ.

සමුළුවේ ප්‍රධාන දේශනය "වත්මන් අලි-මිනිස් ගැටුම සහ . ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව අසමබරතාවේ සාධක" මැයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල මහතා විසින් සිදු කරන ලද අතර, මුඛ්‍ය දේශනය "කල්පිටිය අර්ධද්වීපයේ මුහුදු කැස්බෑවන් සහ වෙරළාශ්‍රිත ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා ප්‍රජාදායකත්වය" මැයෙන් ආචාර්ය ලලිත් ඒකනායක මහතා විසින් සිදුකරන්නට යෙදිණි.

සමුළුවේ දෙවන දිනයේ ප්‍රධාන දේශනය කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ ප්‍රධානී තුෂාන් කපුරුසිංහ මහතා විසින් කරන්නට යෙදුණු අතර මෙහිදී මූලික අධ්‍යන ආයතනයේ මහාචාර්ය දීපාල් සුබසිංහ, සබරගමුව  විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කපිල දිසානායක, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රූපිකා රාජකරුණා, රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය කනිෂ්ක උකුවෙල,  ඌව විශ්ව විද්‍යාලයේ ආචාර්ය දර්ශනී සිංහලගේ, වනජීවී  මෙහෙයුම් අධ්‍යක්ෂ රන්ජන් මාරසිංහ, ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ නිල්මිණි රණසිංහ යන මහත්ම මහත්මීහුද මෙහිදී දේශණ පැවැත්වුහ.

අමතරව, පකිස්තානය, ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, යන රටවල පර්යේෂකයින් සූම් තාක්ෂණය ඔස්සේ තම පර්යේෂණ අත්දැකීම සමුළුව හා බෙදාගත්හ.

අනතුරුව සමුළුවේ කටයුතු හමාර කරමින් සහභාගිවන්නන් සඳහා අවසන් දින නකල්ස් ලෝක උරුම සංරක්ෂිත වනාන්තරයේ ඩීන්ස්ටන් ප්‍රදේශය දක්වා ක්ෂේත්‍ර ජෛව විවිධත්ව අධ්‍යයන ක්ෂේත්‍ර චාරිකාවක් ද සංවිධානය කර තිබූ අතර, සහභාගිවන්නන් සඳහා ජෛව සංරක්ෂණ සංගමය (BCSL) සහ රෆඩ් (The Rufford Foundation) ආයතනය එක්ව සහතික පත් ප්‍රධානයක්ද සිදුකෙරිණි.

දින පොත