නාරා ආයතනය ‘කිරි මුහුද’ ගැන සොයයි

2023 පෙබරවාරි මස 01 ප.ව. 12:25 - {{hitsCtrl.values.hits}}  

කණාමැදිරි එළිය යනු ලොකු කුඩා කාටත් කුතුහලය දනවන ස්වාභාවික සංසිද්ධියකි. එවැනි ස්වාභාවික සංසිද්ධි ගොඩබිමේ මෙන්ම මුහුදු ජීවීන් ආශ‍්‍රිතවද සුලභව දැකිය හැකිය. ලංකාව අවට මුහුදු තීරයේ සිටින එවැනි ජෛවදීප්තතාව සහිත සත්ව ප්ලවාංග හඳුනාගැනීමේ පර්යේෂණයක් මට්ටක්කුලිය නාරා ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකරයි.   Untitled-1
ජෛවදීප්තතාව
ජෛවදීප්තතාව යනු ජීවීන් තමන් විසින්ම නිපදවාගන්නා අලෝකයයි. කණාමැදිරි එළිය ස්වාභාවික සංසිද්ධියක් සේම තමන්ගේම ආලෝකයක් නිපදවීමේ හැකියාවැති මුහුදු ජීවීන් සුලභව සාගරයේ දැකිය හැකිය. මෙම ආලෝකය ඔවුන්ගේ සෛල තුළ ඇතිවන රසායනික ප‍්‍රතික‍්‍රියාවක ප‍්‍රතිඵලයකි.  ලංකාව අවට මුහුදේ මෙම සත්වයන් පිළිබඳව මීට පෙර කිසිඳු පර්යේෂණයක් සිදුකර නොමැත. මෙවැනි පර්යේ්ෂණයක් ලංකාවේ සිදුකරන ප‍්‍රථම අවස්ථාවද මෙය වෙයි.
පර්යේෂණය සිදුකරන්නේ
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ (නාරා) ප‍්‍රධාන විද්‍යාඥ එස්.යූ.පී. ජිනදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂිකා උදේශික විමලසිරි මෙනවියගේ සහයෝගීතාවයෙන් මෙම පර්යේෂණය සිදුකෙරේ.
මාළුන් බැක්ටීරියා ආධාරයෙන්ද ජෛවදීප්තතාව ඇතිකරගනී

S20160505_0002
බැක්ටීරියා වැනි ඒක සෛලික ජීවීන්ගේ සිට මාළුන් වැනි සංකීර්ණ ජිවීන් දක්වා එකිනෙකට වෙනස් ජීවීන් තුළ ජෛවදීප්තතාව දක්නට ලැබේ. සමහර අවස්ථාවලදී මාළු තමන්ගේම එළියක් නිපදවීමට නොහැකි වුවත් බැක්ටීරියාවන්ගේ උදවුවෙන් ජෛවදීප්තතාවය ඇති කරගනී. උදාහරණයක් ලෙස ගැඹුරු මුහුදේ ජීවත් වන ඇන්ග්ලර් මාළු ඔවුන්ගේ හිසෙන් ඉහළට විහිදෙන වුම්බැට්ස් හෙවත් පැසක බැක්ටීරියා රදවා ගනී. එම බැක්ටීරියාවන්ගේ ආලෝකයේ ආධාරයෙන් ගැඹුරු මුහුදේදී ආහාර සොයා ගැනීමට හැකිවේ. බොහෝවිට මුහුදේදී වැඩි වශයෙන් ජෛවදීප්තතාව දැකිය හැකිය.
ජෛවදීප්තතාවයෙන් ලබාගත හැකි ප‍්‍රයෝජන
ජෛවදීප්තතාව සතුන්ට ආහාර සොයා ගැනීමට, විලෝපිකයන් පලවා හැරීමට හා විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කිරීමට යොදාගනී. මුහුද මතුපිට ඇති වන ජෛවදීප්තතාවය අතීතයේ ධීවරයන්ට මාඑ වැඩිපුර ගැවසෙන තැන් සොයා ගැනීමට උපකාරී විය. 
ජෛවදීප්තතාවයෙන් ඇතිවන ‘කිරි මුහුද’

Milky sea-3
බොහෝ විට මෙම ජෛවදීප්තතාවය මුහුදේ ඇති වන චලන නිසා උද්දීපනය වේ. මාඑ වැඩිපුර ගැවසෙන තැන්වල චලනය වැඩි නිසා එම ස්ථාන ඈතට පැහැදිලිව දැක ගැනීමට හැකිය. ධීවරයන් හා නාවිකයන් ‘කිරි මුහුද’ ලෙස හදුන්වන්නේද අහඹු ලෙස ජෛවදීප්තාව සහිත බැක්ටීරියා විශේෂ රාශීයක් එකවර ඇතිවීමෙන් නිපදවෙන ආලෝකයයි. එයට තවමත් නිශ්චිත විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් සිදුකර නොමැත. එහෙත් නවීන විද්‍යාත්මක ක‍්‍රම උපයෝගී කර ගෙන ජෛවදීප්තතාව ඇති කරන රසායනික ද්‍රව්‍ය ඉතා පිරිසිදු ලෙස වෙන් කර ගෙන තිබේ. එම රසායනික ද්‍රව්‍ය නූතන වෛද්‍ය විද්‍යාවේදී ඉතා බහුලව යොදා ගනී. 
වෛද්‍ය විද්‍යාවට යොදගන්නේ මෙහෙමයි.
ජෛවදීප්තතාවයෙන් ඇතිකෙරෙන රසායනික ද්‍රව්‍යයන්ගේ ආලෝකය නිපදවීමේ හැකියාව පිළිකා සෛල හඳුනාගැනීමට, ලේ කැටි පිහිටි තැන් හඳුනාගැනීම ආදී වු ඉතා විශාල පරාසයක් තුළ විද්‍යාඥයන් අත්හදා බලමින් පවතී. ජෛවදීප්තතාවෙන් නිපදවන ආලෝකය ‘සෞම්‍ය එළිය’ ලෙස හදුන්වන අතර එම ආලෝකය විදුලි බල්බවලින් නිපදවන ආලෝකය හා සැසදීමේදී ඉතා අවම තාපයක් නිපදවයි. විද්‍යාඥයන් එම සංකල්පය යොදා ගනීමින් උපරිම කාර්යක්ෂමතාවක් සහිතව ආලෝකය නිපදවීමේ උත්සාහයක ද නිරත වෙමින් පවතී.
පර්යේෂණයේ අරමුණ

Onboard
මෙහි මූලික අරමුණ වන්නේ  ශ්‍රී ලංකාව අවට මුහුදේ ජෛවදීප්තතාව සහිත සත්ව ප්ලවාංග හඳුනාගෙන ඒ ඔස්සේ වෛද්‍ය විද්‍යාත්මක හා වානිජ වටිනාකමක් සහිත ජීවීන් හදුනාගැනීමය. අප අවට මුහුදේ දැනට ජෛවදීප්තතාව සත්ව ප්ලවාංග 15 ක් පමණ හදුනාගෙන තිබේ. ලංකාව අවට මුහුදේ ඔවුන්ගේ ඉතා සුලභ ව්‍යාප්තියක් දක්නට ලැබේ. එය වර්ෂාව සමග පැහැදිලි වෙනසක් පෙන්වන අතර මෙම සත්ව ප්ලවාංග ව්‍යාප්තිය විශේෂ උපකරණයක් මගින් ලබා ගනී. මෙම ජීවීහු මුහුදේ මීටර් 80 ක් පමණ දක්වා සුලභ ව්‍යාප්තියක් දක්වති. මෙම ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර සහ දකුණු මුහුදු තීරවල දත්ත දැනට පර්යේෂණ කණ්ඩායම විසින් ලබාගෙන තිබේ. මුහුදේ ජෛවදීප්තතාවයේ තීව‍්‍රතාව මැනීම සඳහා අවශ්‍ය උපකරණ හා තාක්ෂණික සහාය ඇමරිකාවේ නෝටර්ඩෑම් විශ්ව විද්‍යාලය හා ඇමරිකානු නාවික පර්යේෂණ ආයතනය මගින් පර්යේෂණ කණ්ඩායමට ලබාදී තිබේ. 

=========ගයාන් සූරියආරච්චි=========
 

වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න (සෑම අඟහරුවාදාම නිකුත්වේ)

දින පොත