Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

මහ රැජිනිය

පසුගිය සැප්තැම්බර් 8 වැනි දා ස්කොට්ලන්තයේ දී අභාවප්‍රාප්ත වීමෙන් පසු ඇගේ ඒ දිගු රාජ්‍ය කාලය අවසන් විය. ඒ වන විටත්  දිවියේ 96 වසර ගෙවමින් සිටි ඇය සක්‍රීයව රාජ්‍ය කටයුතුවලට දායක වී සිටියාය.

එලිසැබත් මහ රැජින යටතේ  බ්‍රිතාන්‍ය අගමැතිවරුන් 15 දෙනකු සේවය කර ඇත. එක්සත් රාජධානියේ පමණක් නොව කැනඩාව, ඕස්⁣ට්‍රේලියාව නවසීලන්තය ඇතුළු පොදු රාජ්‍යයක මණ්ඩලයට අයත් රාජ්‍ය 32ක රාජ්‍ය නායිකාව වූ ඇය මිය යන විට රාජ්‍ය 15ක මහ රැජින ලෙස පිළිගනු ලැබිණි.

රැජින උපන්නේ මාලිගයක නොවේ

දෙවන එලිසැබත් රැජින උපත ලැබුවේ රජ මාලිගාවක නොවෙයි; ඇය උපදින විට එංගලන්තයේ සිටි කිසිවකු ඇය රාජ්‍ය ත්වයට පත්වේ යැයි සිතුවේ නැත. නමුත් ඇගේ දෛවය විස්මයජනක ලෙස ඇය සිහසුනට කැන්දා ගෙන ආවා යැයි කීවොත් එය නිවැරදිය. දෙවන එලිසැබත් රැජින උපත ලැබුවේ 1926 වසරේ අප්‍රේල් 21 වැනිදා ලන්ඩනයේ මේෆෙයාහි බෲටන් මාවතේ අංක 17 ස්ථානයේදීය. එය මාලිගාවක් හෝ විශාල වතුයායක මන්දිරයක් හෝ රෝහලක් හෝ නොව. ලන්ඩනයේ ජනාකීර්ණ වීථියක පිහිටි නාගරික තට්ටු නිවාසයකි. මේ තට්ටු නිවාසයේ පදිංචිය සඳහා ඇගේ දෙමාපියන් පැමිණියේ ඇය ඉපදීමට සති කීපයකට පෙරය. මේ නිවාසය අයත් වූයේ, ඇගේ මුත්තණුවන් වූ ස්කොට්ලන්තයේ ස්ට්රැමත්මෝර් හි ආදිපාදවරයා හා එම දේවියටය. එදා කුමරියගේ මාපියන්ට අතමිට සරු නොවූ නිසා මෙසේ මුත්තණුවන්ට අයත් තට්ටු නිවාසයට පදිංචියට යාමට ඔවුන්ට සිදු විය. ඇය එකල බ්‍රිතාන්‍යයේම කිරුළ දරා සිටි රජුගේ දෙවැනි පුතාගේ දියණිය වූ බැවින්, බ්‍රිතාන්‍ය කිරුළ ඇයට හිමිවෙතැයි ලොව කිසිවකු එදා සිතුවේ නැත. එහෙයින්‍ දෙවන එලිසැබත් රැජින උපන් නිවස රැක ගන්නට අවශ්‍යතාවයක් ඒ කාලයේ කිසිවකුටත් තිබුණේ ද නැත.

ලිලිබට් 

කුඩා කළ එලිසැබත් කුමරුගේ පවුලේ අය ඇය හැඳින්වූයේ 'ලිලිබට්' යන සුරතල් නමිනි. 1936 වසරේ දෙසැම්බරයේ එලිසබත් කුමරියගේ දෛවය වෙනස් විය. ඒ, ඇගේ මාමා අටවැනි එඩ්වඩ් රජු ආදරයේ නාමයෙන් රජ කිරුළ අත්හැරීමත් සමඟය. අටවැනි එඩ්වඩ් රජු ආලය කළේත් පසුව විවාහ වූයේත් දෙවරක් දික්කසාද වුණු ඇමෙරිකන් කාන්තාවක වන වොලිස් සිම්ප්සන් සමඟය. අටවැනි එඩ්වඩ් රජු රජකම අත්හැරීමත් සමඟ එලිසැබත් කුමරියගේ පියා හය වැනි ජෝර්ජ් රජු ලෙස කිරුළු පැලඳීය. ඒ වනවිට එලිසැබත්ගේ වයස අවුරුදු 10 කි. ඒ අනුව, රජ කිරුළේ මීළඟ උරුමකරු බවට එලිසබත් කුමරිය පත්වූවාය.

පිලිප් කුමරු

දෙවැනි ලෝක යුද සමයේ එලිසැබත් කුමරිය, රාජකීය නාවික හමුදාවේ සේවය කළ ඇගේ තුන්වන ඥාති සොහොයුරා ද වූ ග්‍රීසියේ පිලිප් කුමරු සමඟ පෙම් හසුන් හුවමාරු කර ගත්තාය. දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය මල්පල ගැන්වී 1947 නොවැම්බර් 20 වැනිදා වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේදී විවාහ වූ අතර, කුමරුන්ට එඩින්බරෝ ආදිපාද පදවිය ලැබුණි. අවුරුදු 99ක් ආයු වළඳා පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූයේ පසුගිය 2021 වසරේය. ඒ, විවාහ වී වසර 74 ක් සපිරෙද්දීය. පිලිප් කුමරු ඇගේ ශක්තිය සහ ජීවනය විය. ඔහුගේ අභාවය එලිසැබත් රැජිනට තදින්ම දැනුනා විය හැකිය. පසුගිය මාස කීපයේ ඇගේ සෞඛ්‍ය පිරිහීයෑමට එක් හේතුවක් වන්නට ඇත්තේ ද එයයි.

දරු පැටවු

එලිසැබත් රැජින සහ පිලිප් කුමරුන්ගේ පළමු පුතු චාල්ස් කුමරු 1948 දීත්, පළමු දියණිය ඈන් කුමරිය 1950දීත්, දෙවැනි පුතු ඇන්ඩෘ කුමරු 1960දීත්, තෙවැනි පුතු එඩ්වඩ් කුමරු 1964 දීත් උපත ලැබූහ. ඔවුන් අතර ඔවුන් තම දෙමාපියන්ට මුණුබුරන් අට දෙනෙකු සහ මී මුණුබුරන් 12 දෙනකු ද ලබා දුන්හ. එලිසැබත්රැජිනගේ අභාවයෙන් පසු චාල්ස් කුමරුන්ට රජකම හිමිවිය. ඒ අනුව, චාල්ස් කුමරු බ්‍රිතාන්‍ය කිරුළ දරන්නේ තෙවැනි චාල්ස් රජු නමිනි.

1952 වසරේ දී එලිසැබත් කුමරිය සිටියේ කෙන්යාවේ සංචාරය නිරතව ය. ඇයට ඇගේ රෝගී පියා ගැන දුක්මුසු පුවත අසන්න ලැබුණේ එවිටය. පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි හය වැනි ජෝර්ජ් රජුඅභාවප්‍රාප්ත විය. ඇය සැමියා පිලිප් කුමරුන් ද සමඟ ලහිලහියේ යළි ලන්ඩනයට පැමිණියාය. ඒ, බ්‍රිතාන්‍ය රුජින ලෙස රජකම බාර ගැනීම සඳහාය. ඇය රජ පදවියට පත්වූයේ 1952 පෙබරවාරි 6 වැනිදාය. වසරකට පසු 1953 වසරේ ජූනි 2 වැනිදා ඇගේ කිරුළු පැලඳීමේ මෞලි මංගල්‍යය පැවැත්විණි. ඒ, වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුරේය.

දේහය ලන්ඩනයට

පසුගිය 8 වැනිදා ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේ දී අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසැබත් මහ රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ සිට දස දහස් ගණනකගේ සෝසුසුම් මැද එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙන ඒම ආරම්භ වූයේ පසුගිය 10 වැනිදා ය. දේහය පිළිබඳ අවසන් කටයුතු 19 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දී සිදු කරන ලදී.

 රැජිනගේ ඔටුන්න

 

රැජිනියගේ රාජකීය ඔටුන්න හෙවත් වසර 177 ක් පැරණි ‘ඉම්පීරියල් ස්ටේට් ක්‍රවුන් ’ යන නිල නාමය සහිත ඔටුන්න තබා තිබෙන ලන්ඩන් කුලුන (ටවර් ඔෆ් ලන්ඩන්) තාවකාලික ව විශේෂිත අගුළු යොදා සීල් තැබුණි. රජෙකු හෝ රැජිනක මිය ගිය විට අලුත් රජු හෝ රැජින පත් වන තුරු රාජකීය ඔටුන්න සහ අනෙකුත් මෞලී ආභරණ තිබෙන ගබඩාව මුද්‍රා තබා, දැඩි රැකවල් මැද තැබීම සිදුවෙයි. රාජකීය ඔටුන්න ඇතුළු සමස්ත ආභරණවල වටිනාකම පවුම් බිලියන 4ක්, එනම් රුපියල් බිලියන 2000 කි .

වෙනස්කම්

රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුදල් නෝට්ටු, විදේශ ගමන් බලපත්‍ර හා නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වීම ඇරැඹිණි. චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු ලෙස රජ කිරුළ දරද්දී බිරිඳ කැමිලා පාකර් නව රැජිනිය බවට පත් වූවාය. මෙතෙක් කාලයක්, බ්‍රිතාන්‍ය ජාතික ගීයෙහි කියවෙන ‘දෙවියන් අපගේ රැජිනිය රැක දේ වා’ යන්න වෙනස් වූයේ ‘දෙවියන් අපගේ රජු රැක දේ වා’ ලෙසය. පැරණි මුදල් නෝට්ටු බැංකුවලින් හා තැපැල් කාර්යාලවලින් කඩිනමින් එකතු කරගන්නා අතර, ඒවා නැවත ජනතාවගේ පරිහරණය සඳහා මුදා නො හැරෙනු ඇති බව පැවැසෙයි. ඒ වෙනුවට නව රජු වන තෙවැනි චාල්ස් කුමරුන්ගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කිරීම ඉදිරියේදී සිදුවෙයි.

කළු පාට

දෙවැනි එලිසබැත් රැජිනගේ අභාවය හේතුවෙන්, විනෝදාස්වාදනය උදෙසා පැවැත්වෙන සියල්ල අවලංගු කෙරේ. සියලු ම බී.බී.සී     මාධ්‍ය නිවේදකයන් හා කාර්ය මණ්ඩලය කළු ඇඳුමෙන් සැරසී රාජකාරි ඇරැඹුවේය.

චාල්ස් කුමරු රජ වෙයි

බකින්හැම් මාලිඟයේ ගේට්ටුව ඉදිරිපස කළු පැහැති ශෝක පණිවිඩයක් ප්‍රදර්ශනය ඇරැඹුණි. සියලු ම වාණිජ ගුවන් යානාවල          රැජිනිය මිය ගිය පුවත නිවේදනය කරන අතර, රාජකීය පවුලේ නිල වෙබ් අඩවියේ ද රැජිනියගේ අභාවය ප්‍රකාශ කෙරුණි. සියලු ම ජාතික කොඩි අඩකුඹු වන අතර, පල්ලිවල සීනු නොකඩවා නාද වෙයි. චාල්ස් කුමරු චාල්ස් රජු බවට පත් වෙද්දී, මීළඟ වේල්සයේ කුමරු බවට ඔහුගේ වැඩිමල් පුතු විලියම් කුමරු පත් වෙයි. ඒ සමඟ ම විලියම් කුමරුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් ආදිපාදවරිය වේල්සයේ කුමරිය බවට පත් වූවාය. චාල්ස් කුමරුන්ගෙන් පසු බ්‍රිතාන්‍ය රජ කිරුළේ උරුමකරු විලියම් කුමරුන්ය.

ලුසිත ජයමාන්න

බීබීසී ඇසුරිනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.