‘අප්‍රිකානු කලාපයෙන් පසු දුනු ඊතල භාවිත කළ රට ශ්‍රී ලංකාව’

1970 ජනවාරි 01 වැනි බ්‍රහස්පතින්දා - 144  

මෙරට වසර 48,000කට පමණ පෙර ජීවත් වූ ආදිවාසීන් සතුන් දඩයම් කිරීම සඳහා සත්ව අස්ථිවලින් නිපදවූ ඉතා දියුණු ඊතල හා වෙනත් මෙවලම් භාවිතා කර ඇති බවත්, අප්‍රිකානු කලාපයෙන් පසු දුනු හා ඊතල භාවිතා කළ ලොව ප්‍රථම රට ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් ඇතුළු දෙස්විදෙස් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් පාහියංගල ලෙනෙහි සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකදී හෙළිවී තිබේ.
 
මෙම කණ්ඩායම විසින් පාහියංගල ලෙනෙහි වසර ගණනාවක් සිදුකළ ගවේෂණයකදී හමුවූ මෙවලම් කොටස් පරීක්‍ෂා කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව අප්‍රිකානු කලාපයෙන් පිටත සොයාගත් පැරණිතම සත්ව අස්ථි මෙවලම් මෙම ගවේෂණයේදී හමුවී ඇත.
 
මෙම සොයාගැනීම සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තරයේ ද අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යාඥයින් මෙන්ම ජර්මානු සහ ඕස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායම් එක්ව පාහියංගල ලෙන ආශ්‍රිතව 2009 වසරේ පමණ සිට පර්යේෂණ සිදුකර තිබේ.
 
මෙම පුරාවිද්‍යා ගවේෂණය සඳහා සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.එම් පත්මලාල් මහතා පැවසුවේ මෙම මෙවලම්සම්බන්ධව ජාත්‍යන්තර විද්‍යාගාරයන්හි සිදුකළ කාල නිර්ණයේදී ඒවා වසර 48,000ක් පමණ පැරණී ඒවා බව තහවුරු වී ඇති බවයි.

හොරණ, බුලත්සිංහල පාහියංගල ලෙනෙහි 2009 වසරේ සිට 2012 වසර දක්වා තම කණ්ඩායම කැණීම් හා පරීක්‍ෂණ සිදුකළ බවත් එහිදී මෙවන් මෙවලම් කොටස් 130ක් පමණ සොයාගත් බවත් ඔහු සඳහන් කළේය.
 
සත්ව අස්ථිවලින් තනා ඇති මෙම ආයුධ වේගයෙන් ගමන් කරන වඳුරන්, ලේනුන් වැනි කුඩා සතුන් දඩයම් කිරීම සඳහා යොදාගත් ඒවා බව පෙනී යන්නේ යැයි ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
 
මේවා දුරක සිටින සතකු දෙසට විසිකළ හැකි ආකාරයේ ඒවා බව ද පත්මලාල් මහතා පැවසීය.

මීට අමතරව මසුන් ඇල්ලීමේදී යොදාගන්නට ඇතැයි සිතිය හැකි ආයුධ මෙවලම් කොටස් ද මෙම ගවේෂණයේදී හමුවී ඇත.

මෙම සොයාගැනීම මෙරට ආදි මානවයාගේ බුද්ධිමත්භාවය හා ඔවුන් භාවිතා කළ දියුණු තාක්‍ෂණය පිළිබඳ ප්‍රබල සාක්‍ෂියක් බව ද මහාචාර්යවරයා කීවේය.
 
දකුණු ආසියාවේ හෝමෝ සේපියන්වරුන්ගේ පැරණිතම ෆොසිල ඇති ස්ථානය ලෙස පාහියන් ලෙන සැලකෙන බවත්, එය මෙරට පැරණි මානවයාගේ අනුවර්තන හැකියාවන් හා සංස්කෘතික නම්‍යතාවයන් අවබෝධ කරගැනීම සඳහා ඉතා වැදගත් ස්ථානයක් බවත් ඔහු පැවසීය.
 එමෙන්ම ශ්‍රී ලාංකික ආදි මානවයා එම කාලය තුළ රෙදි විවීමේ මෙවලම් භාවිතා කර ඇති බවත්, මැසි මදුරුවන්ගෙන් ආරක්‍ෂාවීම සඳහා ඔවුන් නූල් භාවිතයෙන් වියන ලද රෙදි භාවිතා කර ඇති බවත් මෙම ගවේෂණයේදී හමුවූ සාධක අනුව පෙනී යන්නේ යැයි ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මහතා සඳහන් කළේය.

මෙම ගවේෂණ කණ්ඩායම ආදි මානවයා විසින් භාවිතා කළ පබළු, පාෂාණවලින් තැනූ මුතු වැනි ආභරණ කොටස් ද සොයාගෙන ඇත.

පුරා විද්‍යාඥ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්‍ෂ ආචාර්ය නිමල් පෙරේරා, ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆ්ත් විශ්ව විද්‍යාලය හා ජර්මනියේ පුරාවිද්‍යා පර්යේෂණ ආයතනයක් නියෝජනය කරන නොයෙල් අමානෝ, නිකොල් බොයිවින්, මයිකල් ඩී. පෙට්‍රග්ලියා, සහ පැට්‍රික් රොබට්ස් යන අය මෙම ගවේෂණ සිදුකළ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

(ඩයනා උදයංගනී) ,ලංකාදීප ඇසුරිනි

දින පොත