Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

DSCN6791

අප අවට පරිසරයේ ඇති ගස්වැල් සංඛ්‍යාව කොපමණදැයි නිශ්චිතවම කිව හැකිද? ඒවා තෘණ වර්ග, මීවන වර්ග, පාසි, කටු පඳුරැ , දියෙහි වැඩෙන ඕලු සහ නෙළුම්, වැල් වර්ග , ඕකිඩ් වර්ග හා කොස්, දෙල්ආදි විශාලව වැඩෙන ආදි වශයෙන්  විවිධාකාරය. පියවි ඇසින් දැකිය නොහැකි බැක්ටීරියා වර්ග ද සෙසු ජීවින් වන කුඩා කුහුඹුවන් බත්කූරන්, ගෙම්බන්, ඉබ්බන්, මාළුවන්, උරගයින්, පක්ෂීන්, කොටියන්, මුවන්, ගෝනුන්, මිනිසුන් ද සහිත සත්ව ලෝකය ද විවිධාකාරය. මේ ගස්වැල්වල විවිධ වෙනෙස්කම් දක්නට හැකිය. ඇතැම් ශාකවල මල් හට ගනී. ඇතැම් ශාකවල මල් හට නොගනී. පත්‍රයේ හැඩය, ගසේ විශාලත්වය, මල්වල වර්ණය, සුවඳ, බීජවල ස්වභාවය, ඵලවල ස්වාභාවය, වැඩෙන පරිසරය ආදි වශයෙන් එකිනෙක අතර වෙනස්කම් රුසකි. සතුන් අතර ද වෙනස්කම් බොහෝය. පා නැති, පා ඇති, දෙපා, සිවු පා, බහුපා සත්තු වෙති. ඇතැමෙක් ගොඩ බිම වෙසෙති. ඇතැමෙකුට වාසය කළ හැක්කේ ජලයේ පමණි. ඇතැමෙක් ගල් පරවලට ඇලී ජීවිත ගත කරති. ඇතැම් සත්තු පැටවුන් බිහි කරති. තවත් සත්තු බිත්තරවලින් එළියට පැමිණෙති. ජීවීන් අතර පවතින විවිධත්වය නිසාම සොබා දහමට ද අපූර්වත්වයක් එක් වී ඇත.

ජෛව විවිධත්වය?

මිහිතලයේ ජීවත් වන ශාක හා සත්ව යන සියලු ජීවින් ද ඔවුන් ජීවත් වන පරිසර පද්ධති ද එක්ව ගත්කල ජෛව විවිධත්වය යනුවෙන් හැඳින්වේ. මේ ජීවින් අතරත් එම පරිසර පද්ධතිවලත් විශාල විවිධත්වයක් දක්න‍ට ලැබේ. ජාන විවිධත්වය, විශේෂ විවිධත්වය හා පරිසර පද්ධති විවිධත්වය යනුවෙන් ජෛව විවිධත්වයේ මූලික ආකාර තුනකි. එනම් ජාන විවිධත්වයත්, විශේෂ විවිධත්වයත්, පරිසර පද්ධති විවිධත්වයත් යන හේතු තුනම මිහිපිට ජීවින් ‍ජෛව විවිධත්වයට පාදක වේ.

ජාන විවිධත්වය?

පරම්පරාවෙන් පරම්පරාවට එක් ජීවියෙකුගෙන් තවත් ජීවියෙකුට ආවේණික ගති ලක්ෂණ උරැම වන්නේ ජාන ඔස්සේය. ජානය යනු ජීවියෙකු සතු කුඩාම ආවේණික ඒකකයයි. මෙම ජාන පිහිටා ඇත්තේ DNA ( ඩියොක්සි රයිබෝ නියුක්ලික් ඇසිඩ්) නමැති න්‍යෂ්ටික අම්ලවලය. සෑම ජීවියෙකුගේම සෛල න්‍යෂ්ටියේ මෙම DNA අන්තර්ගත වේ. සීනි කාණ්ඩයක්, නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩයක් හා පොස්පේට් කාණ්ඩයක් එක්වී මෙම DNA අණුව නිර්මාණය වේ. එම DNA අණුවක ඇති භෂ්ම රටාව ජානයක් නම් වේ. එක් එක් භෂ්ම රටාව අනුව ජාන විවිධාකාර වේ. මෙනිසා එකම විශේෂයේ ජීවින් අතර වුවද ‍විවිධ වෙනස්කම් දක්නට පුළුවන. මෙසේ එක් එක් ජීවියෙකුගේ ජාන අතර පවතින විවිධත්වය ජාන විවිධත්වය නම් වේ. මෙම ජාන විවිධත්වය නිසා එක්  පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගෙන් වෙනස්වේ. ඔබේ ඇඟිලි සලකුණ ඔබේ සොහොයුරාගේ හෝ සොහොයුරියගේ ඇඟිලි සලකුණට සමාන නොවන්නේ එකිනෙකා අතර පවතින මේ ජාන විවිධත්වය නිසාය. මේ අයුරින් ජාන විවිධත්වය හේතුවෙන් එකම විශේෂයේ ජීවින් අතර වුවද වෙනස් වෙනස් ගති ලක්ෂණ ඇති වේ. ශ්‍රී ලංකාවේ දේශීය වී ශාකය ජාන විවිධත්වයක හොඳින් පෙන්වන ශාකයකි. අතීතයේ මෙරට දේශිය වී ප්‍රභේද සියයට අධික සංඛ්‍යාවක් තිබූ බව වාර්තා වේ.  

විශේෂ විවිධත්වය  යනු  

එකිනෙකා අතර සිදු කෙරෙන අභිජනනයෙන් සරැ ජනිතයෙකු බිහි කළ හැකි ජීවින් එකම විශේෂයට අයත් වුවත් ලෙස සැලකේ. මිහිපිට ජීවි විශේෂ මිලියන ගණනක් දක්නට ලැබේ. යම් පරිසර පද්ධතියක ජීවත් වන  ජීවි විශේෂ අතර පවතින විවිධත්වය විශේෂ විවිධත්වය නම් වේ.

පරිසර පද්ධති අතර පවතින විවිධත්වය   

ශාක සහ සත්ව යන ජීවින්ගෙන් ද ජලය, වාතය සහ ගොඩබිම යන අජීවි කොටස්වලින් ද පරිසර පද්ධතියක් සමන්විත වෙයි. එහි ඇති විශේෂත්වය නම් මෙම ජීවීන් අතර මෙන්ම අජිවි කොටස් අතර ද සිදුවන අන්තර් ක්‍රියා නිසා එම පරිසර පද්ධතිය තුළ  ජීවය පවත්වා‍ගෙන යාමට හැකි වීමයි. සෑම පරිසර පද්ධතියකම ජීවත් වන ජීවින් අතර නිෂ්පාදකයෝ, පරිභෝජකයෝ සහ වියෝජකයෝ ද වෙති. නිෂ්පාදකයා පරිසර පද්ධතිය තුළ ඇති අජීවි ද්‍රව්‍ය ද උපයෝගි කර ගනිමින් ආහාර නිපදවයි. පාරිභොජකයෝ කෙළින්ම හෝ වක්‍රව එම නිපදවන ආහාර යෙන් යැපෙති. නිෂ්පාදකයින්ගෙන්  හා පරිභෝජකයින්ගෙන් පරිසරයට එකතු වන මළද්‍රව්‍ය වියෝජනය කරමින් වියෝජකයෝ යැපෙති. පරිසර පද්ධතියක් තුළ සෑම විටම ද්‍රව්‍ය චක්‍රිය ලෙස සංසරණය වෙයි. පරිසර පද්ධතිය වෙනස් වන විට එහි ජීවත් වන ජීවි වර්ග ද වෙනස් වේ. මෙය ජෛව විවිධත්වයට හේතු වේ. ඒ අනුව ගොඩ බිම මෙන්ම ජලයේ ද  විවිධ පරිසර පද්ධති ගණනාවක් දක්නට ලැබේ.                

ජීවින් අතර විවිධත්වයක් ඇති වූයේ කෙසේද?

ගහකොළ සහ සතුන් නිසා සොබා දහම පවතී. මේ ජීවින් නොවන්නට සොබා දහම ද නොපවතිනු ඇත. අදින් වසර බිලියන 45 කට පෙර පෘථිවිය බිහිවුණා යැයි සැලකේ. ඒ සෞරග්‍රහ මණ්ඩලයට අයත් කිසිදු ජීවයක් නොමැති තවත් එක් ග්‍රහයෙකු ලෙසිනි. එතැන් පටන්  වසර බිලියනයක් තරම් දීර්ඝ කාලයක් පෘථිවිය විවිධ පරිවර්තනයන්ට බඳුන් විණි. මේ කාලය තුළ පෘථිවියේ වායුගෝලයක් ඇති විණි. මහ වැසි ඇදහැළුණි. අවසානයේ සාගරය බිහිවිය. අදින්  වසර බිලියන 3.5කට පෙර මුල්ම වරට ජීවය හටගත්තේය. ඒ සාගරයේය.

සෛල පටලයකින් වටවූ මේ ඒක සෛලිකයා මිහිපිට ජීවය ඇරඹීය. ඒක සෛලිකයන්ගෙන් බැක්ටීරියා, ප්‍රභාසංශ්ලේෂි බැක්ටීරියාවන් , බ්‍රයෝෆයිටා, පර්ණාංග ආදි වශයෙන් ශාක විවිධාංගිකරණයට ලක්විණි. එම ඒක සෛලිකයාගෙන්ම  ප්‍රොටොසෝවාවන්, සීලන්ටරේටාවන්,  පණුවන්, සන්ධිපාදකයින් බිහිවෙමින් සත්ව ලෝකය ද විවිධාංගිකරණය විණි. ජීවය පවත්වාගෙන යාමේදී හැම විටම ජීවින්ට සොබා දහම ජය ගැනීමට සිදු විය. ඒ සඳහා ජීවන් හැඩ ගැසුණේ පරිණාමයට ලක් වීමෙනි. මෙසේ පියවරෙන් පියවර පරිණාමයට බඳුන් වෙමින් පළමුව ශාක ජීවීහු ද දෙවනුව සත්ව ජීවීහු ද ගොඩබිමට පැමිණියහ. ගොඩබිම පරිසරය කටුක විය. රළු විය. නොමැරී සිටීමට ජලය අත්‍යවශ්‍ය විය. හිරැ එළිය ප්‍රචණ්ඩ විය. හිරැ රැසින් ජලය වාෂ්ප වී යා නොදී ආරක්ෂා කර ගත යුතු විය . ඒ සඳහා ජල සංරක්ෂණ උපාය මාර්ග යොදන්නට සිදු විණි. විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට විවිධ උපක්‍රම අවශ්‍ය විණි. ඒ ඒ අවස්ථාවලදී සාගරය හා ගොඩබිම සේම අහස ජය ගන්න‍ට ද මේ ජීවිනට සිදු විණි. ඒ සෑම විටකදිම සිදු වූයේ නව ජීවි විශේෂ සොබා දහමට එක් වීමයි. 

හිරැ රැසින් ආරක්ෂා වී ගොඩ බිම රළු පරිසරයට හැඩ ගැසීම අසීරැ කාර්යයක් විය . ජීවත් වීමට දරන උත්සාහයේදී පරිසර වෙනස් වීම්වලට හැඩ ගැසීමට හැකි වූ ජීවින් පරිසරයේ රඳවා ගැනිණි. පරිසර වෙනස් වීම් හමු වේ පැරදුණු ජීවින් මිහිමතින් දුරැ කෙරිණි. මෙසේ කලින් කලට ජීවය පරිණාමයට බඳුන් විණි. පරිණාම ක්‍රියාවලිය තුළ වඩා දක්ෂ ජීවි විශේෂ පරිසරයේ රැ‍ඳෙමින්  ජීවි ලෝකය විවිධ මං පෙත් ඔස්සේ ගෙන ගියේය. මේ නිසා ලෝකයේ විවිධත්වයක් ඇති විණ. විවිධ  පරිසර තත්ත්ව යටතේ ජීවිහු පරිණාමයට ලක් වූහ. ජීවි හා අජීව සංරචක එක් වීමෙන් නව පරිසර පද්ධති බිහි විණි. එම පරිසර පද්ධති තුළදී ද මෙම ජීවි විශේෂ පරිණාමයට බඳුන් විණි. මේ නිසා  නව  ජීවි විශේෂ , ජීවි උප විශේෂ පවා ඇති විණි.  .  ජලය, ගොඩබිම සේම අහස ද ජයගත් බහු සෛලික  ජීවින්, ඒ ඒ පරිසර පද්ධතිවලට ආවේණික ජීවින්  බිහිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.  ‍

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය

 ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්වය අතින් උණුසුම් කලාපයක් ( Bio diversity Hot spot ) ලෙස සැලකේ. නිවර්තන කලාපීය රටක් වීමත් , දිවයිනක් ලෙස හුදකලාව පිහිටීමත් නිසා මෙරටට ආවේණිකවන ශාක හා සත්ව විශේෂ රුසකි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතීතයේ එකම භූමියක් ලෙස පැවතුණ ද පසුව වෙන්වී යාම නිසා එම ප්‍රදේශවල විසූ ජීවි විශේෂ එකිනෙකා‍ගෙන් සමුගත්හ. ඉන්පසු සාගරයෙන් වටවූ දිවයිනක්ව මෙම ගොබ බිම් ප්‍රදේශය තුළ විවිධ පරිසර තත්ත්වයන්ට අනුව එම ජීවිහු හැඩ ගැසුණි. පසුව පහත් බිම් ප්‍රදේශ වියළී යාම නිසා මෙම ජීවින් දිවයිනේ කඳුකර හා නිරිත දිග ප්‍රදේශවලට සංක්‍රමණය වී එම පරිසර තත්ත්ව යටතේ පරිණාමයට ලක් වූහ. නැවතත් බොහෝ කලකට පසු සාගර ජල මට්ටම පහළ යාමෙන් ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් අතර ගොඩ බිමින් සම්බන්ධය ඇති විණ. මේ ගොඩ බිම් ඔස්සේ ඉන්දියාවේ ගිනිකොන දිග වියළි ප්‍රදේශවල ජීවින් මෙරටට සංක්‍රමණය විණි. ශ්‍රී ලංකාවේ වියළි කලාපය පුරා පැතිර ගියේ එසේ ඉන්දියාවේ ගිනිකොන දිග වියළි ප්‍රදේශවල සිට මෙරටට සංක්‍රමණය වූ ජීවින්ය. මේ හේතු නිසා ශ්‍රී ලංකාවේ අධික ජෛව විවිධත්වයක් දක්නට ලැබේ.

 එමෙන්ම ශ්‍රි ලංකාවේ නිවර්තන වැසි වනාන්තර, කඳුකර වනාන්තර, පතන හා විල්ලු,  කඩොලාන, තෙත් බිම් ආදි වැදගත් පරිසර පද්ධති රුසකි. මේවායින් මෙරට ජීවින‍්ට සේම වෙනත් රටවලින් මෙරටට සංක්‍රමණය වන ජීවින්ට ද අවශ්‍ය වාසස්ථාන, ආහාර හා අභිජනන මධ්‍යස්ථාන (පැටවුන් බිහිකිරීමට සුදුසු පරිසර තත්ත්වයන්) සැපයේ. මේනිසා දේශීය වශයෙන් මෙන්ම ලෝකය වශයෙන්ද ජෛව විවිධත්වයට ශ්‍රී ලංකාවෙන් සැපයෙන්නේ ඉහළ දායකත්වයකි. වර්ෂ 1999 සංඛ්‍යා ලේඛනවලට අනුව ඒ වන විට  ශ්‍රී ලංකාවේ වියන සහිත වන ආවරණය 22. 5% කි. විවෘත වියන සහිත වන ආවරණය 7.2කි. ශ්‍රී ලංකාවේ වනාන්තර අතරින් වියළි කලාපීය වනාන්තරවල ජෛව විවිධත්වයට වඩා තෙත් කලාපයේ වැසි වනාන්තරවල හා අතරමැද කලාපීය වනාන්තරවල ජෛව විවිධත්වය වැඩි අගයක් ගනී. ආසියානු රටවල ජෛව විවිධත්වය හා සමස්ත ලෝකයේ ජෛව විවිධත්වය ද සැසඳීමේදී ද ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. මේ නිසා ලෝකයේ ජෛව විවිධත්වයෙන් වැඩි රටවල් 25 අතරට ශ්‍රි ලංකාව ද අයත් වේ.

පුරාණයේ සිට පැවත එන ජෛව විවිධත්වය හා බැඳුණු සාම්ප්‍රදායික දැනුමක් ශ්‍රී ලාංකික ජන සමාජයට ඇත. එම දැනුම ජෛව විවිධත්ව සංරක්ෂණයට ද හේතුවක් වි ඇත.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ජීවි විශේෂ  හා  ජීවි ආවේණිකතාව

ජීව කාණ්ඩය

ශ්‍රී ලංකාවෙන්

හමුවන ජීවි විශේෂ සංඛ්‍යාව

ආවේණික ජීවි විශේෂ සංඛ්‍යාව

සපුෂ්ප ශාක

3368

875

ක්ෂීරපායින්

90

14

උරගයින්

155

81

පක්ෂීන්

435

27

මිරිදිය මසුන්

78

32

සමනලයන්

243

20

මිරිදිය කකුලුවන්

25

25

 

ආසියානු රටවල් කිහිපයක ජෛව විවිධත්වය (වර්ග කි.මී 10000ක හමුවන ජීවි විශේෂ සංඛ්‍යාව )

රට

ක්ෂීරපායින්

උභය ජීවින්

පක්ෂීන්

උරගයින්

සපුෂ්ප ශාක

ශ්‍රී ලංකාව

13.1

5.8

36

22

485

මැලේසියාව

9

5.2

37

9

470

වියට්නාමය

6.1

2.2

-

-

355

පිලිපීනය

5.5

2.6

18

-

290

තායිලන්තය

5.25

2

16

-

240

මියන්මාරය

4.5

1.1

15

4

100

ඉන්දුනීසියාව

3

1.5

9

3.5

105

ඉන්දියාව

1.25

0.6

4

2

50

චීනය

0.5

0.4

1.5

0.5

30

අපට ජෛව විවිධත්වය වැදගත් වන්නේ ඇයි?

ආහාර, ඖෂධ, විවිධ රසායනික ද්‍රව්‍ය, කෙඳි වර්ග, දැව ආදි විවිධ ජෛව නිෂ්පාදන ලබාගත හැකි වීම.

පරිසරයේ සමබරතාව ආරක්ෂා කර ගැනීමට ජෛව විවිධත්වය හේතු වේ. මේ අනුව කාබන් චක්‍රය, ජල චක්‍රය හා නයිට්‍රජන් චක්‍රය ආදි චක්‍රවල සමතුලිතාව කෙරෙහි ජෛව විවිධත්වය හේතු වේ. 

පසත් ජලයත් සංරක්ෂණය වීමට වැදගත් වේ.

ජෛව විවිධත්වය ර‍ටක අධ්‍යාපනික වටිනාකම, සංස්කෘතික හා සෞන්දර්යාත්මක වටිනාකම වැඩි කරලීමට හේතු වේ. ඊට පාරිසරික සංචාරක කර්මාන්තයේදී ඉහළ වටිනාකමක් හිමි වේ.

ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන්ගේ සහ පක්ෂීන්ගේත් අනෙකුත් ජීවි විශේෂවලත් අභිජනන මධ්‍යස්ථාන ලෙස වැදගත් වේ.

අලුත් ශාක හා සත්ව ප්‍රභේද වැඩි දියුණු කිරීමේදී ජෛව විවිධත්වය ප්‍රයෝජනවත් වේ. කෙටි කලකින් වැඩි අස්වනු දෙන පළිබෝධවලට ඔරොත්තු දෙන බෝග වර්ග නිපදවීමට සහ  නිෂ්පාදන හැකියාව වැඩි සත්ව ප්‍රභේද ඇති කිරීමටද පුළුවන.

  • ජෛව ගෝලයේ කාලගුණ හා දේශගුණ තත්ත්ව පාලනයට ද ජෛව විවිධත්වය දායක වේ.
  • ජෛව විවිධත්වයෙන් වැඩි රටවල් ලෝක උරැම බවට පත්වීම.
  • ජෛව විවිධත්වය විනාශ වීමට හේතු
  • ජීවින්ගේ වාසස්ථාන විනාශ වී යාම හා බෙදී යාම නිසා

විවිධ සංවර්ධන සහ කෘෂිකාර්මික කටයුතු  සඳහන් ජනපද පිහිටුවීම සඳහා සහ වනාන්තර එළිපෙහෙළි කිරීම, පස්කැපීම, වගුරැ බිම් ගොඩ කිරීම ආදි කටයුතු සඳහා භූමිය විවිධ වෙනස්කම්වලට ලක් කිරීමත් නිසා ජීවින්ට තම ස්වාභාවික වාසස්ථාන අහිමි වේ. මෙවිට ජීවි විශේෂ වඳ  යාමෙන් ජෛව විවිධත්වය අඩු වේ.

ආගන්තුක ආක්‍රමණික ජීවි විශේෂ හඳුන්වා දීම නිසා

පරිසර පද්ධතියට එක්වන ආගන්තුක ජීවි විශේෂයක් ආක්‍රමණශීලි ලෙස ව්‍යාප්ත වීමෙන් එම පරිසර පද්ධතිය බිඳ වැටීමට පුළුවන. විශේෂයෙන් දූපත් රටවල ජෛව විවිධත්වය අඩු වීමට ආගන්තුක ජීවි විශේෂ හේතු වේ. මෙරට  මිරිදිය  මත්ස්‍ය අස්වැන්න වැඩි කරගැනීමට ජලාශවලට මුදා හරින ලද තිලාපියා නම් මත්ස්‍යයා නිසා දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ රැසක් වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටී.

ශාක හා සතුන් පමණ ඉක්මවා පරිභෝජනයට ගැනීම හෝ පරිසරයෙන් ඉවත් කිරීම නිසා

මසුන් ඇල්ලීමේ දී භාවිත කෙරෙන පන්නා ක්‍රමවලින් විශාල මසුන් සේම මත්ස්‍ය පැටවුන්ද  විශාල වශයෙන් අල්ලා ගැනේ. මේ නිසා ඊළඟ මත්ස්‍ය පරම්පරාව විනාශ කෙරේ. එමෙන්ම විනෝදය පිණිස සතුන් දඩයම් කිරීම, ඇතැම් සතුන් සුරතලයට ඇති කිරීම සඳහා ස්වාභාවික පරිසර පද්ධතිවලින් ඉවත් කිරීම ආදී කටයුතු නිසා ජෛව විවිධත්වයට හානි  ඇති වේ. ශ්‍රී ලංකාවේ වැඩි ඉල්ලුමක් ඇති දැව ශාක විශේෂ වන කළුවර හා කළුමැදිරිය මෙන්ම බුරැත අද වන විට වඳ වී යාමේ තර්ජනයට මුහුණු පා ඇත. පරාක්‍රම සමුද්‍රයේ සහ යෝධ වැවේ ජීවත් වූ කැබිලිත්තාද අධික ලෙස  මරා දැමීම නිසා වඳ වී ගොස් ඇත.

පරිසර දූෂණය නිසා

ගෝඩබිම ද ජලය මෙන්ම වාතය ද දූෂණය වීම නිසා පරිසරයට වැඩියෙන්ම සංවේදී  ජීවි විශේෂ ඉක්මනින් වඳ වී යයි. ජලයට එකතුවන අපද්‍රව්‍ය නිසා ශාක හා සත්ව ප්ලවාංග, ක්‍රස්ටේෂියාවන්, මත්ස්‍යයින් විනාශ වේ. එම ජීවින් වාසය කරන පරිසර පද්ධතිවලට හානි පැමිණේ. රසායනික පොහොර සහ කාර්මික අපද්‍රව්‍ය ජලාශ සුපෝෂණය කරයි. එවිට එම ජලයේ වෙසෙන ශාක හා සත්ව විශේෂ මිය යයි. ජෛව හායනය නොවන කෘෂි රසායන ද්‍රව්‍ය නිසා පසට හා ජලයට එකතු වන විෂ ආහාර දාම ඔස්සේ එක් වී ජෛව විශාලනට ලක්වේ. මේ නිසා විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වේ.

දේශගුණයේ සිදුවන වෙනස් වීම් නිසා

පෘථිවි උෂ්ණත්වය වැඩි වීම නිසා සිදුවන දේශගුණික වෙනස් වීම් හේතුවෙන් ජීවි විශේෂ තර්ජනයට ලක්වේ. ග්ලැසියර දියවී සාගර ජල මට්ටම වැඩි වීමෙන් දූපත් ජලයෙන් යටවේ. එවිට දූපත්වල ජෛව විවිධත්වයට හානි පැමිණේ. දේශගුණ වෙනස්වීම්වලට බෙහෙවින් සංවේදී ජානමය වශයෙන් දුබල ජීවින් වඳ වී යාම වේගවත් වේ.

කෘෂිකර්මාන්තයේ දී සිදුවන ජාන සංහාරය නිසා

වැදගත් ජානමය ලක්ෂණ ඇති ජීවින්ට කෘෂිකර්මාන්තයේ දී වැඩි තැනක් ලැබේ. මේ නිසා වසර දහස් ගණනක් තිස්සේ පරිණාමයට ලක් වූ ජීවි වි‍ශේෂ හෝ එම ජීවි විශේෂ සතු ලක්ෂණ යටපත් කෙරේ. මේ නිසා පරිසර වෙනස් වීම්වලට ඔරෝතු දෙන පළිබෝධවලට ඔරොත්තු දෙන කෘෂිකාර්මික ජීවින් අද දක්නට නොලැබේ.  ඒ අනුව වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වීම, වැඩි කිරි අස්වැන්නක් ලබා ගත හැකි වීම, ආදි ප්‍රයෝජනවත් ලක්ෂණ සහිත ජීවින් පමණක් ඉතිරි කර ගනු දක්නා ලැබේ. මේ තත්ත්වය ජාන සංහාරයකට හේතු වී ඇත.

සමාජ හා ආර්ථික ගැටලු නිසා

මේ නිසාද ජීවි විශේෂ වඳ වී යාමෙන් ජෛව විවිධත්වයට හානි පැමිණේ. එනම් නිසි සැලසුමකින් තොරව සිදුවන සංවර්ධන ව්‍යාපෘති නිසා ජීවින් විනාශ වී යාම,  ස්වාභාවික පරිසරය ගැන පැවැති සාම්ප්‍රදායික දැනුම නොමැති වී යාමෙන් එම පරිසර පද්ධති ආරක්ෂා කර නොගැනීම, මිනිසුන්ගේ දිළිඳු කම නිසා වනාන්තර ආදි පරිසර පද්ධති විනාශ කිරීම හාපරිසර පද්ධතිවල වැදගත් කම නොසලකා සංවර්ධන කටයුතු කිරීම නිසා ද ජෛව විවිධත්වයට හානි පැමිණේ.

ජෛව විවිධත්වය සංරක්ෂණය කළයුත්තේ ඇයි?

මිහිපිට ජීවි විශේෂ දස ලක්ෂ 150ක් පමණ වෙසෙතැයි විශ්වාස කෙරේ. එහෙත් දැනට නාමිකව හඳුනාගෙන ඇත්තේ මෙම ජීවි විශේෂ අතරින් දස ලක්ෂ 1.7ක් පමණි. කිසිදා කිසිදු ලෙස හඳුනා නොගෙන මිහිමතින් සමුගන්නා ජීවි විශේෂ මෙපමණකැයි කිව නොහැකිය. මේ ජීවි විශේෂ වඳ වී යාමට ප්‍රධාන හේතුව වන්නේ මිනිස් ක්‍රියාකාරකම්ය. මිනිසා යනු මිහිපිට වෙසෙන අති මහත් ජීවි  විශේෂ අතරින් එක් විශේෂයක් පමණි. නූතන මානවයා වන හෝමෝ සේපියන් සේපියන් ගේ උරැමය වසර 500000කි. එම කාලය  පෘථිවියේ ජීවයට සාපේක්ෂව බැලූ විට නොසැලකිය හැකි තරම් අඩු කාලයකි. එම නිසා මිනිසුන් වන අප හැම දෙන ජෛව විවිධත්වය කෙරෙහි වඩාත් සංවේදී වී ජෛව විවිධත්වය සංරක්ෂණය කර ගැනීම වටී. එවිට

ජෛව විද්‍යාත්මක සම්පතක් ලෙස

  • වර්තමානයට මෙන්ම අනාගත පරම්පරාවට එයින් ප්‍රයෝජන ලබා ගත හැකි වේ.
  • මිනිස් ජීවිතයට හිතකර තත්ත්වයක් සහිත ජෛව ගෝලයක් පවත්වා ගැනීමට වැදගත් වේ.
  • වර්තමානයේ ආහාර ලෙස අඩු ශාක හා සත්ව විශේෂ සංඛ්‍යාවක් භාවිතයට ගත්තද අනාගතයේ දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන සත්ව විශේෂ වැඩි සංඛ්‍යාවක් ආහාරයට ගැනීමට හැකිවීම
  • ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට මී මැස්සන් ආදි පරාගකාරකයින්ගේ,  ක්ෂුද්‍ර ජීවින් ආදි වෙනත් ජීවින්ගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය වීම .

ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්නේ කෙසේද?

ජෛව විවිධත්වය සංරක්ෂණයට ලොව පුරා රටවල් රාජ්‍ය ම්ට්ටමින් මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද පියවර ගෙන ඇත. ජෛව විවිධත්වය සංරක්ෂණය කෙරෙන ප්‍රධාන ක්‍රම දෙකකි.

01- මුල් ස්ථානවල සිදු කෙරෙන  සංරක්ෂණය ( In situ conservation)

ජීවි විශේෂයක් ඔවුන් ජීවත් වන පරිසර පද්ධතිය තුළ දීම සංරක්ෂණයට ලක් කිරීම මෙසේ හැඳින්වේ. ඒ අනුව අභය භූමි, වනෝද්‍යාන, ආරක්ෂක ස්ථාන සහ රක්ෂිත ලෙස නම් කර සංරක්ෂණය කිරීම සිදු වේ. යාල වනෝද්‍යානය, සිංහරාජ රක්ෂිත වනාන්තරය,  අභය භූමිය මීට නිදසුන් ගෙනේ.

02 - මුල් ස්ථානවලින් බැහැර ව සිදු කෙරෙන සංරක්ෂණය ( Ex situ  conservation)

ජීවි විශේෂ ඔවුන්ගේ ස්වාභාවික වාස්සථානවලින් බැහැරට ගෙන සංරක්ෂණය කරන්නේ නම් එය මුල් ස්ථානවලින් බැහැරව සිදු කෙරෙන සංරක්ෂණය ලෙස හැඳින් වේ. උද්භිද උද්‍යාන, ජාන බැංකු, වන උයන්, සත්ව උද්‍යානවල සිදු කෙරෙන සංරක්ෂණය මීට අයත් වේ. ඒ අනුව පේරාදෙණිය උද්භිද උද්‍යානය, දෙහිවල සත්ව උද්‍යානය, මීට නිදසුන් වේ.

  • ජෛව විවිධත්ව සංරක්ෂණයේදී වැදගත් වන ජීවි විශේෂ
  • ඒක දේශික විශේෂ - Endemic species

කිසියම් භූ ගෝලීය ප්‍රදේශයක  රටක පමණක් ස්වාභාවිකව ජීවත් වන  ජීවින් ය. එම ජීවින් ස්වාභාවික වාසස්ථානයක් තුළදී හමුවන්නේ එම රටේදී හෝ එම ප්‍රදේශයේදී පමණි. 

උදා;  ශ්‍රී ලංකාවේ කැහි බෙල්ලා - Urocissa ornata  , හොර  - Diptera celanicus

  • දේශීය විශේෂ - Indigenous species

කිසියම් රටක, ප්‍රදේශයක ජීවත් වන වෙනත් රටකින්, ප්‍රදේශයකින් හදුන්වා නොදුන් වෙනත් රටවල ප්‍රදේශවල ස්වාභාවිකව ජීවත් වන විශේෂ ජීවි විශේෂ මීට අයත් වේ. 

උදා - කොස් - Artocarpus heterophyllus , ලූලා-Ophicephalus striatus

  • අවශිෂ්ට විශේෂ - Relict species

ආදි යුගවල ජීවත් වී ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති හෝ වඳ වී ගිය,  අඩුවෙන්ම පරිණාමයට ලක් වී ඇති නමුත් සීමා සහිත ප්‍රදේශවල පමණක් දැනට ජීවත් වන ජීවි විශේෂ මෙනමින් හැඳින්වේ.

උදා ; පණුවෙකුගේ වැනි පාද ඇති ගෙම්බා - Icthyophis glutinosus, ත්‍රිකුණාමල තඹලගමු බොක්කේ ලාම්පු බෙල්ලන් - Lamp shell

  • විදේශීය විශේෂ - Exotic species

යම් රටකට හෝ ප්‍රදේශයකට වෙනත් රටකින් හෝ ප්‍රදේශයකින් ගෙනැවිත් හඳුන්වා දුන් ජීවි විශේෂ  උදා ; පයිනස් - Pinus spp ,තිලාපියා - Oreocromis mossambicus

  • මූලස්ථාන විශේෂ - Key stone species

යම් පරිසර පද්ධතියක ක්‍රියාකාරිත්වය සහ අනෙකුත් විශේෂවල පැවැත්ම සඳහා වැදගත් මෙහෙවරක් ඉටු කරන ජීවින් වේ. මෙම ජීවින් අදාළ පරිසර පද්ධතියෙන් ඉවත් කළ හොත් නැති නම් මෙම ජීවි විශේෂ වඳ වී ගියහොත් එම පරිසර පද්ධති බිඳ වැටීමට හේතු වේ. උදා - ශ්‍රී ලංකාවේ ඇතැම් පරිසර පද්ධතිවල දිවියා මූලස්ථාන විශේෂයක් වේ.

ධජයධාරි විශේෂ - Flagship species

මිනිසුන් අතර ප්‍රකට සංකේතාත්මක වටිනාමක් ඇති පරිසරය පිළිබඳව දැනුම්වත් බවත් ඇති කරන සංස්කෘතිකමය වටිනාකමක් ඇති ජීවි විශේෂ මීට අයත් වේ. මොවුන් ඒක දේශික හෝ තර්ජනයට ලක් වූ ජීවින් විය යුතු නොවේ .

ශ්‍රී ලංකාවේ ඇතා, අලියා, ඕස්ට්‍රේලියාවේ - කැන්ගරු, පැන්ඩා

දර්ශක විශේෂ - Indicator species

පරිසරයේ සිදු වන වෙනස් වීම්වලට සංවේදීතාවක් දක්වන ජීවි විශේෂ මීට අයත් වේ. උදා- උභය ජීවින් හා මත්ස්‍යයින්

පතාක විශේෂ - Umbrella species

මෙම විශේෂ යම් පරිසර පද්ධතියක විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව සිටී. පරිසර පද්ධතිය තුළ ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් විසින්ම සලසා ගන්නා අතර එය ඉබේම අනෙක් ජීවින්ගේ ආරක්ෂාවට ද බලපායි.

උදා- දිවියන්, අලින්, වලසුන්

විශේෂ අතර සම්බන්ධයට වැදගත් වන පුරුක් - Mobile link species

යම් ජීවි විශේෂයක් ආහාර ජාල කිහිපයකට සම්බන්ධතාවක් දක්වයි නම් එම විශේෂ මෙනමින් හැඳින්වේ. උදා - සපුෂ්ප ශාක තුනක පරාගනයට දායක වන මී මැස්සෙකු

රතු දත්ත පොත ( Red data list )

ජීවි විශේෂවල සංරක්ෂණ තත්ත්වය පිළිබඳ තොරතුරැ හෙළිකරන වාර්තාව රතු දත්ත පොත නම් වේ. මෙය තනි රටක ජෛව විවිධත්වය සේම සමස්ත ලෝකයේ  ජීවි විශේෂවල සංරක්ෂණ තත්ත්වය පිළිබඳවද තොරතුරැ හෙළි කරයි. ජාත්‍යන්තර රතු දත්ත පොත IUCN ( International Union for Conservation of Nature) සංගමය මගින් නිකුත් කෙරේ. එහි සඳහන් සංරක්ෂණ තත්ත්තවයන් මෙසේය.

නෂ්ට වූ - EX,

වඳ වී යාමේ දැඩි තර්ජනයට ලක් වූ - CR

වඳ යාමේ තර්ජනයට ලක් වූ -EN

අවදානමට ලක්ව සිටින- VU

අවදානමට ලක් වීමට ඉඩ ඇති - LR: NT
දත්ත ප්‍රමාණවත් නොවන - DD

ජෛව විවිධත්වය සංරක්ෂණයට ජාත්‍යන්තර සම්මුතීන් 

ජෛව විවිධත්ව සම්මුතිය - ජෛව විවිධත්ව සංරක්ෂණය, ජෛව විවිධත්වය  තිරසර අයුරින් භාවිත කිරීම, ජෛව විවිධත්වය සංරක්ෂණයෙන් ලැබෙන ප්‍රතිලාභ බෙදා ගැනීම යන අරමුණු සපුරාගැනීමට ඇති කර ගත් සම්මුතියකි.

වන ජීවින්ගේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ගිවිසුම  

අවදානමට ලක් වී ඇති ජීවි විශේෂ හඳුනාගෙන ජෛවිවිධත්වයට හානිවිය හැකි පරිදි සිදු කෙරෙන වෙළෙඳාම වැළැක්වීම අරමුණු විය.

පර්යටනය වන සත්ව වි‍ශේෂවල සංරක්ෂණය පිළිබඳ ගිවිසුම

එක් රටකින් තවත් රටකට සංචරණය වන පක්ෂීන්ට අවහිර වන ආකාරයෙන් ක්‍රියා කළ නොහැකි වේ. 

රැම්සා සම්මුතිය

තෙත් බිම් හා දිය ඇළී ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් ඇති කර ගත් ගිවිසුමකි.

නිවර්තන දැව පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම - නිවර්තන වනාන්තර සංරක්ෂණය කිරීම සහ එම වනාන්තරවල දැව තිරසර අයුරින් භාවිත් කිරීම අරමුණු කර ගත්තකි.

මොන්ට්‍රියෙල් ගිවිසුම

ඕසෝන් ස්තරයට හානිකර වායු භාවිතයෙන් ඉවත් වීම මෙහි අරමුණ විය.

බාසල් සම්මුතිය

විෂ වායු හා විෂ ද්‍රව්‍ය දේශ සීමා හරහා ගෙන යාම පාලනය කිරීම අරමුණ වේ.

තල්මසුන් දඩයම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම

තල්මසුන් වඳ වී යාමේ තර්ජනයෙන් මුදා ගැනීමේ අරමුණින්  මෙම ගිවිසුම ඇති කර ගැනිණි.  

ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම

ලෝක මට්ටමින්පරිසරය සහ ජාන සම්පත් අරපිරිමැස්මෙන් පරිහරණය සමානාත්මතා පදනම යටතේ භාවිත කිරීමත් මෙම ගිවිසුමෙන්  අරමුණු කෙරිණ.

 

වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත අරගන්න. විජය සෑම අඟහරුවාදාම නිකුත්වේ

 

 

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.