ලොව වැඩිම අලි මරණ ශ්‍රී ලංකාවේ

2024 අප්‍රේල් මස 17 පෙ.ව. 01:14 - {{hitsCtrl.values.hits}}  

  • ලොව වැඩිම අලි මරණ ශ්‍රී ලංකාවේ
  • ලොව දෙවැනි වැඩිම මිනිස් මරණ ප්‍රමාණයත් වාර්තාවෙයි

ලොව අලි - මිනිස් ගැටුම මගින් වැඩිම අලින් සංඛ්‍යාව සහ දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්ෂිකව මරණයට පත්වන රට ශ්‍රී ලංකාව වන බවට නව විද්‍යාත්මකඅධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

වර්ෂ 2010 – 2019 කාලසීමාව තුළ මෙරට වාර්තාවූ අලි - මිනිස් ගැටුම් ආශ්‍රයෙන් ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සහ සංරක්ෂණ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් සුපුන් ළහිරු ප්‍රකාශ්, ආචාර්ය ඒ. ඩබ්ලිව්. විජේරත්න සහ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු යන පර්යේෂකයන් විසින් මෙම විද්‍යාත්මක අධ්‍යයනය සිදුකර තිබේ.

මෙම අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශවලට පැතිරෙමින් පවතින බව අනාවරණය වී ඇති අතර,එහිදී දිවයනේ පළාත් 08කට අයත් දිස්ත්‍රික්ක 19ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131ක පමණ අලි - මිනිස් ගැටුම් වාර්තාවී තිබේ.ඒ අනුව එම ප්‍රමාණය මෙරට සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තුනෙන් එකකට වැඩි ඉහළ අගයක් ගනී.

අධ්‍යයනයට පදනම්වූ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 807ක් අලි - මිනිස් ගැටුම හේතුවෙන් රටට අහිමිවී ඇති අතර, එම ප්‍රමාණය වසරකට 81ක් පමණ වේ.

දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 112ක එම කාලය තුළ මිනිස් මරණ වාර්තාවී ඇති අතර,1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී අලි - මිනිස් ගැටුම හේතුවෙන් සිදුවූ මිනිස් මරණ සංඛ්‍යාව 50෴කින් වර්ධනය වී තිබේ.

2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී එය 14෴ වර්ධනයක් පෙන්නුම් කරන අතර, අලි - මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මරණයට පත්වන්නන්ගෙන් බහුතරය පිරිමි පුද්ගලයන් වේ.

ඔවුන්ගෙන් බහුතරයක් අවරුදු 51 – 60 ත් අතර පසුවූවන්වන අතර,එසේම වැඩිම කාන්තාවන් පිරිසක් මරණයට පත්ව ඇත්තේ අවුරුදු 61 – 70 වයස් කාණ්ඩයේය.

අදාළ කාලසීමාව තුළ අලි ඇතුන් 2631ක් මරණයට පත්වී ඇති අතර, එම ප්‍රමාණය වසරකට 263කි. දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131ක එම කාලය තුළ අලි මරණ වාර්තාවී ඇති අතර, වැඩි වශයෙන් මරණයට පත්ව ඇත්තේ පිරිමි අලින් වේ.

පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී අලි - මිනිස් ගැටුම හේතුවෙන් සිදුවූ අලින්ගේ මරණ සංඛ්‍යාව 92෴කින් වර්ධනය වී ඇති අතර, 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී එය 31෴කින් වර්ධනයවී තිබේ. මීට අමතරව ගැටුම් හේතුවෙන් මිනිසුන්ට සිදුවූ ශාරීරික හානි 579ක් සහ දේපොළ හානි 10,532ක් මෙම කාලසීමාව තුළදී වාර්තාවී තිබේ.

එසේම වසරේ සෑම කාල සීමාවකදීම නොවෙනස්ව අලි  - මිනිස් ගැටුම් වාර්තාවන බව පෙන්වාදෙන පර්යේෂකයන්,  වාරි ජලය මගින් වගා කිරීම හේතුවෙන් වසරේ සෑම කාලසීමාවකම කෘෂිකාර්මික කටයුතු සිදුකිරීම, බහුවාර්ෂික භෝග වගාව, නිවෙස්වල අස්වනු තැන්පත්කර තැබීම, අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශවල වසරේ සෑම කාලසීමාවකම ජනතාව අනාරක්ෂිතව හැසිරීම වැනි කරුණු ඊට හේතුවිය හැකි බවද පෙන්වා දෙයි.

මෙම පර්යේෂණය මගින් අනාවරණයවී ඇති විශේෂ කරුණක් වනුයේ මෙතෙක් දිවයිනේ වැඩිම අලි - මිනිස් ගැටුම් ප්‍රමාණයක් වාර්තාවී තිබූ වයඹ පළාතේ ගැටුම් අඩුවෙමින් පවතින අතර, අතීතයේ තරමක් අඩු වශයෙන් ගැටුම් වාර්තාවූ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ගැටුම් ඉහළ යමින් පවතින බවයි.

කෙසේවුවද අලි වෙඩි, වන්දි ගෙවීම්, වන අලි පරිස්ථාපනය, සහ වන අලි පලවාහැරීම යන ප්‍රධාන අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම හතර සඳහා  2010 – 2018 කාලසීමාව තුළදී රජය විසින් වැය කරන ලද මුදල 110෴කින් පමණ වර්ධනය වී ඇති බවද එහි සඳහන්ය.

ඒ අනුව 2010 වසරේදී මේ සඳහා රුපියල් මිලියන 92ක් පමණ වැයකර ඇති අතර, 2018 වනවිට එම ප්‍රමාණය රුපියල් මිලියන 194 දක්වා ඉහළ ගොස් තිබේ.

අලි - මිනිස් ගැටුම පාලනය කිරීමේ අරමුණින් දිවයින පුරා වාර්ෂිකව නව විදුලි වැට කිලෝමීටර් 267ක් පමණ (පැරණි විදුලිවැට නවීකරණය සහ ප්‍රතිස්ථාපනය කිරීමට අමතරව) ඉදිකිරීමට මෙම කාලසීමාව තුළදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකර ඇති අතර මහා පරිමාණයේ වන අලි පලවාහැරීම් 10ක් පමණ (දෙපාර්තමේන්තුව මගින් කුඩා අලි පලවාහැරීමේ මෙහෙයුම් සිය ගණනක් දින පතා සිදුකරයි) වසරක් පාසා සිදුකර ඇත.

නමුත් එවන් පසුබිමකඅදාළ කාලසීමාව තුළ අලි - මිනිස් ගැටුමේ කිසිදු අඩුවක් සිදුවී නොමැති බව මෙම අධ්‍යයනය අනුව පෙනී යයි.

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් ලැබී ඇති ප්‍රතිපාදන යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් දත්ත සහ එම දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව නිකුත්කරන කාර්ය සාධන වාර්තා උපයෝගී කරගනිමින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

ඒ අනුව   ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක පාදක කරගනිමින් අලි - මිනිස් ගැටුම පිළිබඳව අධ්‍යයනය කළ ප්‍රථම අවස්ථාව මෙය වීම එහි විශේෂත්වයයි.(WMDJBM)

 

දින පොත