ලෝක වාර්තාවක් සමගින් දිනේෂ් පැරාලිම්පික් රන් පදක්කමක් දිනයි

2024 අප්‍රේල් මස 25 ප.ව. 12:04 - {{hitsCtrl.values.hits}}  

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවය රැගෙන එමින් පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30දා) සමත් විය. එක් අතක් වැලමිටෙන් පහළ අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයන් සහභාගිවන F-46 කාණ්ඩය යටතේ තරග වඳිමින් දිනේෂ් මෙම ගෞරවය මවුබිමට රැගෙන ආවේය.   

ශ්‍රී ලාංකිකයෙකු පැරාලිම්පික් උළෙලක දිනූ පළමු රන් පදක්කමද මෙය වන අතර, මෙහිදී ඔහු රන් පදක්කමට ලඟා වූයේ මීටර් 67.79ක දක්‍ෂතාවක් දක්වමින් වූ අතර, එය නව ලෝක වාර්තාවක්ද විය. ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායකයාද වන දිනේෂ්, තරගයේ තෙවැනි උත්සහයේදීම මෙම වාර්තාව පිහිටුවීය.

මෙහිදී දිනේෂ් විසින් බිඳලනු ලැබුවේ 2016 වසරේදී ඉන්දීය ක්‍රීඩක දේවේන්ද විසින් මීටර් 63.79ක දක්‍ෂතාවක් දක්වමින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි. කෙසේ නමුත් දේවේන්ද්‍ර මෙම තරගයට තරග කළ අතර, ඔහු සිය පෞද්ගලික හොඳම දක්‍ෂතාව (මී. 64.35) දැක්වූවත්, ඔහුට රිදී පදක්කමෙන් සෑහීමට සිදුවිය.

එමෙන්ම මෙහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූයේද ඉන්දීය ක්‍රීඩකයෙකුය. එය මී. 64.01ක දක්‍ෂතාවක් දැක් වූ සුන්දර් සිංට හිමිවිය.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු වන දිනේෂ් 2016 රියෝ පැරාලිම්පික් උළෙලේදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම 2017 වර්ෂයේ ලන්ඩන්හිදී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදීද ඔහු සිය ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

ඊට අමතරව වර්ෂයේ ඉන්දුනීසියාවේ ජාකර්තාහිදී පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ රන් පදක්කමත්, 2019 වර්ෂයේ ඩුබායි හිදී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ලෝකඩ පදක්කමත් දිනේෂ් දිනූ පදක්කම් ලැයිස්තුවට ඇතුළත්ය.

දින පොත