කොරල්පරවලින් සියයට 80ක් මිය ගිහින්

2020 ඔක්තෝබර් මස 20 පෙ.ව. 05:10 - {{hitsCtrl.values.hits}}  

සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් හා කොරල්පර හානිය පිළිබඳ නිසි අවධානයක් නොමැතිවීම නිසා ශ්‍රී ලංකාව මේ වන විට කොරල් සම්පත අහිමිවීමේ අවදානමකට ලක්ව සිටියි. ඊට නිසි පියවර ගැනීමට මෙන්ම රජය මෙන්ම ජනතාවද උත්සුක විය යුත්තේ ඉන් අත්වන ප්‍රතිවිපාක සහ පාරිසරික, ආර්ථික මෙන්ම සාමාජීය වශයෙන් වන හානි සුළුපටු නොවන නිසාවෙනි. මේ පිළිබඳව අප මෙම විද්වත් සාකච්ඡා සටහන ගෙන එන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සමගිනි.

කොරල්පරයක් යනු

කොරල්පරයක් කියලා සරලව අපි හඳුන්වන්නේ වෙරළ කලාපයක තිබෙන වේදිකාවකට සමාන ඉතාමත් සංකීර්ණ ජෛව විවිධත්වයකට උරුමකම් කියන ඉතා වැදගත් පරිසර පද්ධතියකට. මේ කොරල්පරය නිර්මාණය කරන්නේ කොරල් බුහුබාවා ලෙස හඳුන්වන කුඩා ජීවියෙක් විසිනුයි. මේ කොරල් මත කල්ගත වෙද්දි මුහුදු පැළෑටි, ඇල්ගී වර්ග වැඩෙනවා වගේම තවත් මුහුදු ජීවීන් රැසකට මෙය නිවහනක් බවට පත්වෙනවා.  

කොරල්පරයක වටිනාකම

කොරල්පරයක් කියන්නේ විවිධ මත්ස්‍ය වර්ග ඇතුළු අනෙකුත් ජලජ ජීවීන් රාශියකට වාසස්ථාන සහ ආහාර සපයන වැදගත් පරිසර පද්ධතියක්. ඒ වගේම මේ ජීවීන්ගේ අභිජනනයට සුදුසු පරිසරයක් කොරල් ආශ්‍රිතව පවතින නිසා ධීවර කර්මාන්තයට වාසිදායක වෙනවා. වෙරළට ආසන්නව බැම්මක් ආකාරයෙන් කොරල්පර නිර්මාණය වී තිබෙන නිසා වෙරළ ඛාදනය වළක්වන බාධකයක් ලෙස මෙය ක්‍රියාකරනවා වගේම සුනාමි වැනි 
තත්ත්වවලින් සිදුවන හානිදායක තත්ත්ව අවම කරන දියකඩනයක් ලෙස කොරල්පර ක්‍රියා කරනවා. 

කොරල්පර කියන්නේ අතිශය අලංකාර සහ සුන්දර පරිසර පද්ධතියක් නිසා මේ හරහා සංචාරක කර්මාන්තයෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම පසේ ආම්ලිකතාව අඩු කිරීමට රසායනයක් ලෙස වැදගත් වෙනවා. කොරල්පර ආශ්‍රිතව ලියුකේමියාව සහ පිළිකා රෝගවලට ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ රසායන පවතිනවා.

ශ්‍රී ලංකාවට කොරල්පර අහිමිවන ලකුණු

ශ්‍රී ලංකාව අවට කොරල්පර මේ වෙද්දි විශාල වශයෙන් හානියට පත්ව තිබෙනවා වගේම හානි වී ඇති ප්‍රමාණය සහ මියගොස් ඇති ප්‍රමාණය ස්ථානීය වශයෙන් වෙනස් වෙනවා. ත්‍රිකුණාමලය පරවි දූපත අවට තිබෙන කොරල්පරයෙන් 40%ක ප්‍රමාණයක් මියගිහින් තිබෙනවා. දකුණු පළාතේ කොරල්වලින් 80෴ත් 90෴ත් අතර ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. හික්කඩුවේ කොරල්පරයෙන් 90෴ක ප්‍රමාණයක් මේ වන විටත් මියගොස් අවසන්. සමස්තය ගත්තොත් අනුමාන වශයෙන් අප රටේ කොරල්පරවලින් 80෴කටත් වඩා මියගිනින් තිබෙනවා. තවත් මේ තත්ත්වය මේ ආකාරයෙන්ම පැවතුණොත් නුදුරු අනාගතයේදීම අපේ රටට කොරල්පර අහිමි වේවි.

කොරල්පරවල විනාශයේ විකාශනය

කොරල්පරවලට වී ඇති විනාශය පිළිබඳ අපි අතීතයේ සිටම කතා කළොත් කොරල්පරවලට අපි මුලින්ම හානි කරන්න පටන්ගත්තේ හුණු සඳහා කොරල් කැණීම මගින්. අතීතයේ නිවාස, ගොඩනැගිලි ඉදිකිරීම්වලට හුණු ලබාගැනීමට මහා පරිමාණයෙන් කොරල් කැණීම සිදු කළා. අදටත් වෙරළ කලාප ආශ්‍රිත පවතින පැරණි නිවාස සහ බළකොටු නිරීක්ෂණය කළොත් ඇතැම් විට ගඩොල් වෙනුවට කොරල් කොටස් භාවිත කර තිබෙනවා දැකගන්න පුළුවන්.

එතනින් පස්සේ කොරල්පර පිහිටා ඇති වෙරළ කලාපවල ධීවර වරායන් බිහිවීම සහ නව ඉදිකිරීම් නිසා කොරල් වලට දැඩි හානි සිදු වුණා. මිරිස්ස ධීවර වරාය නිර්මාණය කර තිබෙන්නෙත් සම්පූර්ණ කොරල්පරයක් විනාශ කරලයි. ඊට අමතරව දැල් භාවිතයෙන් සහ ඩයිනමයිට් පිපිරවීම් යොදාගෙන සිදුකරන මසුන් මැරීම් නිසා කොරල් සඳහා දැඩි හානි සිදු වුණා. ඒවගේම කොරල්පර ආශ්‍රිතව අවිධිමත් ලෙස කරන කිමිදුම් සහ පිහිනීම් නිසාත්, කොරල් මතින් බෝට්ටු ගමන් කරවීම සහ බෝට්ටුවලින් නිකුත් කරන තෙල් නිසාත් කොරල්වලට දැඩි හානි සිදු වෙනවා.

කොරල්පරයට හානි ගෙන එන ස්වාභාවික හේතු

අහිතකර මිනිස් ක්‍රියාකාරකම්වලට අමතරව ස්වාභාවික හේතු නිසාත් කොරල්පරවලට හානි සිදු වෙනවා. උදාහරණයක් ලෙස එල්නිනෝ සහ ලානිනා තත්ත්ව පෙන්වා දෙන්න පුළුවන්. 1998 වර්ෂයේදී සමස්ත ලෝකයටම බලපාන ආකාරයෙන් සාගරයේ එල්නිනෝ තත්ත්වයක් ඇති වුණා. ඒ තත්ත්වය නිසා ලෝකය පුරාම ඇති කොරල්පරවලට දැඩි හානි සිදු වුණා. ඇතැම් කොරල්පර සම්පූර්ණයෙන්ම මියගියා. ශ්‍රී ලංකාව අවට තිබූ බොහෝ කොරල්පර 98%ක පමණ ප්‍රමාණයක් මියගියා. මෙවැනි එල්නිනෝ තත්ත්ව වසර 4කට වරක් සිදුවෙනවා. ගිය වසරේ ලානිනා තත්ත්වයක් ඇති වුණා. 

ඒවගේම දේශගුණික විපර්යාස, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සමග සිදුවන සාගරයේ උෂ්ණත්වය වැඩි වීම, මුහුදට අහිතකර කිරණ පතිත වීම වැනි හේතු නිසාත් කොරල්පර සඳහා හානි වෙනවා වගේම කොරල්පරවලට හානි පමුණුවන ජීවී විශේෂත් සිටිනවා. මේ ස්වාභාවික හානිත් සමග විශාල වශයෙන් සිදුවන මිනිස් ක්‍රියාකාරකම් එක්වුණාම වන හානිය ඉතාමත්ම වැඩියි. හානිවන කොරල් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම සිදුවෙන්න විශාල කාලයක් ගත වෙනවා. 

කොරල්පර විනාශය සියලු විනාශයන්ගේ ආරම්භය වනු ඇත.

කොරල්පර විනාශයේ ඵලවිපාක ඉතාමත් දරුණු බව අවධාරණය කළ යුතුයි. ඒ විපාක පාරිසරික වශයෙන් පමණක් නොවෙයි සමාජ, ආර්ථික වශයෙනුත් බලපානවා. කොරල් විනාශයෙන් වෙරළ ඛාදනය ඉක්මන් වීම නිසා වෙරළ ඛාදනය වළක්වන්න සිදුකරන ව්‍යාපෘති වෙනුවෙන් බිලියන ගණනින් රටේ මුදල් වැයකරන්න සිදු වෙනවා. ඒ ඔස්සේ රජයට විතරක් නොවෙයි ජනතාවටත් ආර්ථික වශයෙන් විශාල හානිදායක තත්ත්වයන් මතුවේවි. 
ඒ වගේම ජෛව විවිධත්වයේ සහ ආහාර දාමයන්ගේ ඇතිවන අසමතුලිතතාව හේතු කරගෙන මත්ස්‍ය සම්පත විනාශ වීමෙන් ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වෙනවා. කොරල් මියයාම සහ ඒවාට හානි වීම නිසා සංචාරක කර්මාන්තය ඇනහිටිනවා පමණක් නෙවෙයි සංචාරකයන්ගේ පැමිණීම ඒ හරහා නැවතුණොත් සංචාරක හෝටල් සහ සේවා කර්මාන්ත වසාදමන්න සිදුවේවි අනිවාර්යයෙන්ම. ඒ ඔස්සේ ඒ අවට ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වයන්ට විශාල බලපෑම් සිදු වේවි.

කොරල් රැකගැනීමේදී ශ්‍රී ලංකාව කොතැනද?

කොරල්පර සහිත වෙනත් රටවල කොරල් පිහිටා තිබෙන්නේ නොගැඹුරු මුහුදේ නම් කිමිදීමේදී කකුලට භාවිත කරන වරල් වැනි පාවහන් විශේෂය තහනම් කර තිබෙනවා. ඒ වගේම සමහර රටවල නොගැඹුරු මුහුදේ ඇති කොරල්පර ඇති ප්‍රදේශ ආවරණය කර ඒ ප්‍රදේශ මිනිස් ක්‍රියාකාරකම් සඳහා තහනම් කලාප බවට පත්කර තිබෙනවා. විද්‍යාඥයෙකුට වුණත් ඇතුළු වෙන්න හැකියාව තිබෙන්නේ විශේෂ අවසරයක් මත පමණයි. ජපානය වැනි රටවල කොරල්පරයක් ආශ්‍රිතව වරායක් හෝ ඉදිකිරීමක් සිදුකරනවා නම් එය අත්‍යවශ්‍යමද යන්න මුලින්ම සොයා බැලීමෙන් අනතුරුව නව තාක්ෂණය යොදාගෙන ජීවයට හානි නොවන ආකාරයෙන් කොරල්පරය කොටස්වලට වෙන් කර මුහුදේ වෙනත් සුදුසු ස්ථානයක ස්ථාපනය කරනවා. 

ශ්‍රී ලංකාව ඒහා සැසඳුවොත් කොරල්පර රැකගැනීම සම්බන්ධයෙන් තිබෙන්නේ ඉතාමත් අඩු අවධානයක්. සංචාරක කර්මාන්තයේ කටයුතු සඳහාත් යම්යම් නියාමන තිබිය යුතු වෙනවා. හික්කඩුවේ කොරල් නැරඹීමට භාවිත කරන වීදුරු පතුලක් සහිත බෝට්ටු බොහෝ අවස්ථාවල සංචාරකයන් ආකර්ෂණය වැඩි කරගන්න කියලා කොරල්පරය උඩින්ම ගමන් කරනවා. එයින් සිදුවෙන්නේ අවරපෙති වැදීමෙන් සහ බෝට්ටු පතුල වැදීමෙන් කොරල්පරයට විශාල ලෙස හානි වෙන එකයි. බෝට්ටු වැදීම නිසා සිදුවන මේ භෞතික හානි තත්ත්ව හික්කඩුවේ, කල්පිටියේ, පරවි දූපතේ සහ සිලාවතුර ආශ්‍රිතව හොඳින්ම දක්නට ලැබෙනවා.  

තහනම් කළ යුතු ද්විත්ව පහර බෝට්ටු 

පරිසර දූෂණය වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ද්විත්ව පහර (two stroke) එන්ජින් සහිත ත්‍රිරෝද රථ ආනයනය තහනමට ලක් කරන්න පියවර ගත්තා. ඇත්තෙන්ම ඒක පරිසරය වෙනුවෙන් ගත්ත හොඳම තීරණයක්. නමුත් තවමත් ද්විත්ව පහර බෝට්ටු තහනමට ලක් කරන්න මේ වනතෙක් කිසිදු පියවරක් අරගෙන නැහැ. ද්විත්ව පහර බෝට්ටු මගිනුත් සාගරයට සහ කොරල්පරවලට විශාල හානියක් සිදු වෙනවා. අර්ධ දහනය නිසා තෙල් මුහුදට එක්වෙලා කොරල්වලට අවශෝෂණය වීම නිසා කොරල් මිය යනවා.

කොරල් රකින සංචාරක කර්මාන්තයක් සඳහා boardwalk ක්‍රමය 

අවිධිමත් බෝට්ටු ගමනාගමනයෙන් සහ සංචාරකයන්ගේ ක්‍රියාකාරකම් නිසා පරවි දූපත ආශ්‍රිතව තිබෙන අධිසංවේදී කොරල් කලාපයට සිදුවන හානිය වළක්වන්න වහාම කටයුතු කළ යුතු වෙනවා. කොරල්පරයත් රැකගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යෑම මෙතනදි අභියෝගයක්. ඒ නිසයි මේ සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මාලදිවයින ඇතුළු කොරල් සම්පතින් පොහොසත් අනෙකුත් රටවල් භාවිත කරන boardwalk ක්‍රමය පරවි දූපතේ ස්ථාපනය කරන්න යෝජනා කළේ. boardwalk කියන්නේ එක්තරා ආකාරයකින් පාලමක්. 

මෙමගින් දූපතේ කොරල් කලාපයට බෝට්ටු සංක්‍රමණය වීමෙන් සහ සංචාරකයන්ගෙන් සිදුවන භෞතික හානි සහ තෙල් මුසුවීමෙන් වන හානි වළක්වනවා. බෝට්ටු මේ පාලමේ එක් කෙළවරක නවත්වලා එතැන්සිට පාලම දිගේ කොරල් නරඹමින් දූපතට ඇවිදගෙන එන්න සංචාරකයන්ට හැකියාව තිබෙනවා. සංචාරක කර්මාන්තයට බාධාවක් වෙන්නේ නැහැ. boardwalk හදන විට අනිවාර්යයෙන්ම යම් අවම හානියක් සිදුවෙනවා. නමුත් එය වෙන්නේ සංවර්ධන කටයුත්තේදි පමණයි. මාස 6ක් ගතවෙනකොට ඒ කණුත් ස්වාභාවිකවම සාගරයේ කොටස් බවට පත්වෙලා ඒ ආශ්‍රිතවත් කොරල් නිර්මාණය වෙන්න පටන්ගන්නවා. නමුත් මේ ව්‍යාපෘතිය ඒ ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණු අභ්‍යන්තර කුමන්ත්‍රණ සහ ජනතාවගේ අනවබෝධය නිසා කල් දමන්න සිදු වුණා. නමුත් කොරල්පරය සහ සංචාරක කර්මාන්තය හැමදාටම පවත්වාගෙන යන්න නම් මෙය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි. තත්ත්වය මේ ආකාරයෙන්ම පැවතුණොත් හික්කඩුවේ කොරල්වලට සිදුවුණු ඉරණම නුදුරේදීම පරවි දූපතේ කොරල්වලටත් අත්වේවි.

( අද පුවත්පත ඇසුරිනි ) නඳුන් ශ්‍යාමාල්

දින පොත