අසිරිමත් සිංහරාජය

2023 පෙබරවාරි මස 01 පෙ.ව. 10:56 - {{hitsCtrl.values.hits}}  

සිංහරාජය සිංහ රජ දහන නමින් අරුත් දෙමින්  ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නිරිතදිගින් පිහිටි රක්වානේ කඳු වැටියේ උස මීටර 300-1170 සීමාවේ හෙක්ටයාර 11250 පුරාවට පැතිර පවතින කඳුකර වැසි වනාන්තයක් සේම ජාතික වනෝද්‍යානයක් බව නොරහසකි.මෙම වනෝද්‍යානය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති සේම යුනෙස්කෝ සංවිධානය විසින්  ජෛව ගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ලෙසට නම් කර ඇත.

      සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන මෙම සංවේදී නිවර්තන තෙත් සදාහරිත වනාන්තරය රත්නපුර,ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්ට මායිම් ව විහිදී පවතී.එලෙස එක් එක් දිශාවෙන් මායිම් වන්නේ මෙසේය.
*දකුණු දිශාවෙන් - ගිං ගඟ සහ මහදොළ
*උතුරු දිශාවෙන් - නාපොල දොළ සහ කොස්ගුලන ගඟ
*බටහිර දිශාවෙන් -කළුකන්දාව ඇල සහ කුඩව ගඟ
*නැගෙනහිර දිශාවෙන්-මොනිංසයිඩ් වතු යාය

      මෙම අඩවියට ඔබ අප කා හටත් පිවිසීමට ප්‍රධාන මාර්ග හතරක් පවතී..
*දෙනියාය -පල්ලේගම මාර්ගය
*කලවාන- වැද්දාගල මාර්ගය
*රක්වාන -මොනිංසයිඩ් මාර්ගය 
*හිනිදුම-නෙළුව මාර්ගය 
වශයෙනි.

ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරය පරිසර කලාපයේ කොටසක් වන මෙම නොයිඳුල් කඳුකර වැසි වනාන්තරයට ප්‍රවිෂ්ට වීමේ අපහසුතාවය මත වාණිජකරණයට ලක් වෙමින් ආරක්ෂා වෙමින් පවතී.එසේ ම මෙම කඳුකර වැසි වනාන්තරය 1607 වසරේදී ජෛවගෝල රක්ෂිතයක් ලෙසත්,1988වසරේ දී ලෝක උරුමයක් ලෙසත් නම් කොට තිබීම ඊට තවත් හේතුවකි.        
          
    "Sinharaja Forest Reserve "යන නිල නාමයෙන් හඳුන්වන මෙම රක්ෂිතය නැගෙනහිර සිට බටහිරට දුර කි.මි.81 ලෙසත් උතුරු හා දකුණු දෙසට උපරිම දුර කි.මි.7 ක් වුවත් සිංහරාජය තුළ ශාක විශේෂ ,කෘමි විශේෂ,උභය ජීවීන්,උරඟයින්,පක්ෂීන් මෙන් ම ක්ෂීරපායින් සහ ආවේණික ජීවී විශේෂයන් ට මව් සෙවනකි.
              
    මෙම කඳුකර වනාන්තරය ප්‍රධාන ස්ථර පහකින් යුතුව නිම වී ඇත්තේ ඉතාමත් අපූර්ව ලෙසයි.එම ස්ථර පහ මෙලෙසයි.
* නෙරු ස්ථරය- දෙරණ ,හොර,භූ හොර ආදී ශාකවලින් පෝෂණය වූ කොටසකි.
*වියන් ස්තරය- ඇටඹ ,බටු නා,වැලිපියන්න, කීන ආදී ශාකවලින් පෝෂණය වී ඇත .
*උප වියන් ස්ථරය - උබ්බේරිය ,කිතුල් ගල් හැඩවක ,මලබොඩ ආදී ශාකවලින් පෝෂණය වී ඇත.
*යටි වියන් ස්ථරය - කුඩුම්බේරිය,මඩොල්, අතුකැටිය ආදී ශාකවලින් සමන්විතයි .
*බිම් ස්ථරය - මීවන ,වැරණිය කැප්පෙටිය ගිනිහොට වැනි ශාකවලින් යුක්ත ස්ථරයකි.
 
ජෛව විවිධත්වයෙන් අනූන මෙහි හෙක්ටයාරයකට 240000 පමණ ශාක ගණත්වයක් පවතී.මෙහි දැවමය වටිනාකමක් ඇති ශාක විශේෂ 340ක් මෙන් ම ඒ අතරින් ශාක විශේෂ 192ක් ම මෙරටට ආවේණික ශාක වේ.එම ශාක 192 අතරින් ශාක විශේෂ 15ක් ම දක්නට ලැබෙන්නේ සිංහරාජය තුළ ම පමණක් වීම සුවිශේෂී ය.මෙම අඩවිය තුළ ඇති ශාක 75% ම ලංකාවට ආවේණික ශාක විශේෂයි.එපමණක් නොව ,සිංහරාජය හෙළ ඔසුවේ මහගෙදර හා සමානය.     
          
    සිංහරාජ අඩවිය තුළ හඳුනාගෙන ඇති ආවේණික සත්ත්වයින් අතුරින් වැසි වනාන්තරය ඇසුරේ වාසය කරන සත්ත්ව විශේෂ 20ක් පමණ වාසය කරන බව තහවුරු වී ඇත.එමෙන් ම පක්ෂි විශේෂ 160 කට පමණ හිමිකම් කියන මෙම වනාන්තරය තුළ ලංකාවට පමණක් ආවේණික පක්ෂි විශේෂ 18ක් පමණ දැකිය හැක .මෙහි දී බොහෝමයක් පක්ෂීන් ආහාර සොයා යාමේ දී රංචු වශයෙන් ක්‍රියාත්මක වීම ඉතාමත් ආශ්චර්‍යමත් දෙයකි.එම රංචු අතරට රතු දෙමළිච්චා සහ මහ කවුඩා මූලික තැනක් උසුලයි.මහ කවුඩාගේ ප්‍රචණ්ඩකාරී බවත්,රතු දෙමළිච්චාගේ තොරතෝංචියත් විටෙක වනයෙහි ඇති නිහඬතාව බිඳ දැමීමට කදි ම පිළිතුරකි.වත රතු මල් කොහා,ශ්‍රී ලංකා බට ඇටිකුකුළා ,පතිගෝමර තිරාසිකයා සහ ශ්‍රී ලංකා කැහිබෙල්ලා ඇතුළු තවත් පක්ෂී විශේෂ රාශියක් මෙම අඩවි ගුවනේ හිමිකරුවන්ය.  
      
     වනාන්තරය තුළ පවතින ශාක ගණත්වයකින් හේතුවෙන් යාල වැනි වනෝද්‍යානයන්හි වෙසෙන සත්තවයින් මෙහි දැකගැනීම ඉතා අසීරු ය.මෙරටට ආවේණික ක්ෂීරපායි සත්ත්ව විශේෂ 12න් 8 ම මෙම අඩවියෙහි ජීවත් වන සත්ත්ව විශේෂයි.ගෝනා ,කොළ දිවියා,ඕළු මුවා මෙන් ම ශ්‍රී ලංකා අළු වඳුරා හට මෙහි හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.මෑතකදී දුර්ලබ කලු දිවියෙකුගේ(කොටියෙකුගේ)මරණයක් වාර්ථා වූවා සේම අවසන් තෙත් කලාපීය අලි තිදෙනාද මෙහි දී සියැසින් දැකගැනීමට ලැබීමද ඉතාමත් භාග්‍යකි .
            
     මෙම කඳුකර තෙත් සදාහරිත වනාන්තරය තුළ පක්ෂි,ක්ෂීරපායින් පමණක් ම නොව, උරග විශේෂ 45ක් ම වාසය කරන රජදහනකි .ඉන් විශේෂ 21ක් ම මෙරට ආවේණිකත්වය දරයි. ඉබ්බන් ,හිකනලුන් සහ විශේෂිත කටුසු විශේෂ මෙන් ම ඉතාම දුර්ලභ තෙවර්ණ කෙණිපොතුවැල්ලා සහ කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ දෙකක් ද දැකිය හැකිය.කටුසු වර්ග අතර කරමල් බෝදිලිමා,මූකලන් කටුස්සා,පුංචි අං කටුස්සා සුවිශේෂී වේ.හූනු විශේෂ කිහිපයක් ද වාර්තා වී ඇත.   
       
     එසේ ම අතිශය දුර්ලභ උභය ජීවී විශේෂ 50ක් පමණ වෙසෙන අතර අත් පා රහිත ගෙඹි විශේෂයක් වන "කහ වයිරම් පණු ගෙම්බා" වනයෙහි වගුරු ආශ්‍රිත  පස තුළ වාසය කරන සත්ත්ව වෙශේෂයකි.ක්ෂීරපායින් 40ක්  මිරිදිය මත්ස්‍ය විශේෂ 20ක් සහ ඔබ අප සැවොම ප්‍රිය කරන්නා වූ සමනල විශේෂ 65ක් පමණ ජීවත් වීමද දැකගත හැකිය.
               
     සත්ත්ව ප්‍රජාව පමණක් ම නොව මෙහි ඇති සුන්දරත්වය ට වනාන්තරය තුළ ඇති සුන්දර කඳු මුදුන් කිහිපයක් ම ශාක්ෂි දරයි.මෙහි මීටර 600කින් යුතු කඳුමුදුන්  පහක් සේම වනාන්තරයේ උස් ම ස්ථානය මීටර 1171 පමණ උසකින් යුතු හිනිපිටිගල කන්දයි.කොස්ගුලන  ,සිංහගල,මුලාවැල්ලි ,හිනිපිටිගල නැගෙනහිර සහ හිනිපිටිගල බටහිර ලෙස උස් ම කඳු මුදුන් පෙළ නම් කර ඇත.
එසේම වනාන්තරයට ලැබෙන මි.මි.3000-6000 අතර  වර්ෂාපතනය හේතුවෙන් බ්‍රාහ්මණ ඇල්ල,දූවිලි ඇල්ල ,ඌරා ඇල්ල සහ වැටුණු ඇල්ල යන දියඇලිවල පිරිපුන් බවට කිසිදු නෝක්කාඩුවක් නොමැත.අඩවියෙහි වාර්ශික උශ්ණත්වය සෙල්සියස් අංශක 18-27 දක්වා පරාසයක පවතී.
           
         වනාන්තරය කෙතරම් සුන්දරත්වයක් හෙලි කළ ද එදා පටන් අද දක්වා ම වනාන්තරය තුළ සිදුවන පරිසර විනාශය තවමත් සිදු වෙමින් පවතින දෙයකි.ප්‍රථමයෙන් ම වැද්දාගල සිට කුඩාව දක්වා 1963 වසරේදී සිදු වුණු මාර්ග සංවර්ධනය හේතුවෙන් වනාන්තරයට දැඩි ලෙස හානි ඇති විය.කැනඩාවේ රීඩ් කොලින්ග්ස් ඒකාබද්ධ   සමාගමේ සහයෝගයෙන් කොස්ගම තුනී ලෑලි සංස්ථාව පිහිටුවා ඒ සඳහා සිංහරාජ වනාන්තරයේ උතුරු දෙසින් හෙක්ටයාර 5000ක පමණ බිම් ප්‍රදේශයක දැව හෙලීම සිදුකර තිබුණි.ජනතාව විරෝධය පළ කරමින් එම කර්තව්‍ය වලක්වන විට ද අඩවියෙහි හෙක්ටයාර 25000ක පමණ කොටසක් විනාශ වී හමාරයි.අදටත් එම ක්‍රියාදාමය සිදු කර ඇති ස්ථානවල මාර්ගවල නටඹුන් වනය තුළ ම සාක්ශි දරමින් සිටින බව එය නැරඹීමට යන සංචාරක ප්‍රජාව හට දැකගැනීමට හැකි ය.වර්තමානයේදීත් රක්ෂිතය ආශ්‍රිත ජනතාව විසින් සතුන් දඩයම් කිරීම,දැව විනාශ කිරීම,වල්ලපට්ටා විනාශය සේම බට පඳුරු ආදිය විනාශ කිරීමද යම් තාක් දුරට දැකිය හැකි ය.මිනිසා විසින් විනාශ වන වනාන්තරය අවසානයේ දී මිනිසාටම වින කැපීමක් විය හැකි බව ඇතැම්හු හට නොතේරෙන කරුණකි.
               
   1989  වසරේ ලෝක උරුමයක් වන මෙම කඳුකර තෙත් සදාහරිත වනාන්තරය සුරැකීමට කුඩා මට්ටමේ සිට කළ යුතු  දෙයක් සේම මෙය ලෝක උරුමයක් වශයෙන් අප ආරක්ෂා කරගත යුත්තේ ශ්‍රී ලාංකේය අභිමානයේ තවත් කැඩපතක් මෙය වන බැවිනි.
          (කවීෂා ගරුසිංහ - මාතර )

දින පොත