උපහාරය

2024 මැයි මස 16 ප.ව. 05:00 - {{hitsCtrl.values.hits}}  

මේ ලොව ඇති උත්තරීතර නාමයෙන් පිදුම් ලැබුවේ ඔබ ය. ගත පුරා ගිය රතු ලේ බිඳු සුදට පෙරා ආදරයේ නාමයෙන් මට ජීවත් වෙන්න මගේ හදවතට පණනල දුන්නේ ඔබ ය. දහසක් වේදනාවන් ඉවසමින් නිහඬව විඳ දරා ගනිමින් දිවා රූ නොබලා ආදරයෙන් මා රුකගත්තේ ඔබ ය.මතු භවයේත් මේ උතුම් පදවිය ඔබට ලැබේවායි මගේ ඒකායන ප්‍රාර්ථනය යි.
ඔබ කුස මා පිළිසිඳ ගත් දිනයේ පටන් ඔබ මා දකින්නට පෙරැම් පුරන්නට ඇති. දහසක් පැතුම් හද තුළ රැවාගෙන ඇඟිලි ගනිමින් බලා ඉන්නට ඇති. ඒ ඔබේ ආදරණීය උණුසුම රුකවරණය මා වෙත ලබා දෙන්නට ය.
ඉතිං ආදරණීය මෑණියනි, මේ ලොවඇති  උතුම් ම වචනය ‘අම්මා‘ කියා මම ඔබගෙන් හැඳින ගතිමි. ඒ ඔබ මට ලබා දෙන සෙනෙහස මියෙන තුරා මගේ හදවතේ රුඳෙනු ඇත.‍ හොඳ නරක මට කියා දී මා නිසි මග යවන්නට ඔබ කොතරම් වෙහෙසෙන්නේ ද කියා මට හිතා ගන්නටවත් බැරි ය. මගේ ජයග්‍රහණ දුටු විට වැඩියෙන් ම සතුටු වන්නේ ද ඔබ ය. ඔබේ උත්සාහයෙන් මම ජයග්‍රහණය කරා පිය නැගුවෙමි.
මා යා යුතු මග පෙන්වන ආදරණීය මෑණියනි. ඔබ විටෙක මට ගුරැවරියකි. විටෙක මගේ කුළුපග ම මිතුරියයි. ඒ තරමට ම අපේ බැඳීම අති මහත්  ය. ඔබ මට ජීවිතය සකස් කරගන්නා අයුරැ කියා දෙන විට මම ඇසි පිය නොහෙළා බලා සිටිමි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබ අම්මා ය. ඒ මගේ ය. ඔබ මට පුතා කියා කතා කරන හැම විටම ඒ තරමට ම බැඳීමක් සෙනෙහසක් මා කෙරේ ඔබ තුළ ඇත.
දිවි ඇති තුරා මගේ ජීවිතයට අත්වැලක් ව ඉන්නේ ඔබ ම ය. මා මේ ලොව දුටු පියකරැ ම  දසුන ද ම ආදරණීය මෑණියනි ඒ ඔබම ය. 
මම උදේට පාසල් යාමට පෙර ඔබ දෙපා නමදින විට ඔබ මගේ  හිස අතලා මගේ පුතේ ඔයාට බුදු සරණයි. පරිස්සමට කල්පනාවෙන් . ඒ මට දවසට ම ලැබෙන ශක්තිය යි, ආශිර්වාදය යි, මගේ ජීවිතය හඳුනාගන්නට ... දිනන්නට... ජය ගන්නට... ඔබට බුදු සරණයි මෑණියනි.

බාසුරැ සස්මිත විජේසේකර
10 ශ්‍රේණිය,
බප/ගම්/ චන්ද්‍ර ජෝති විද්‍යාලය,
යක්කල.

දින පොත