අවුරුදු 800 කින් මිනිසාගේ හැඩය

2022 දෙසැම්බර් මස 01 ප.ව. 07:10 - {{hitsCtrl.values.hits}}  

අවුරුදු 800 කින් මිනිසාගේ හැඩය

කොයි වගේ වේවිද?

 

තව අවුරුදු 800 කින් පමණ මනුෂ්‍ය අපේ පෙනුම කොයි වාගේ වේවිද? මේ වන විට මනුෂ්‍ය අප ලබා ඇති තාක්ෂණ දියුණුවත් සමඟ අනාගත මිනිසා හෝ ගැහැනිය හෝ කුමන පෙනුමක් ගනීවිදැයි අනුමාන කරමින්, පරිගණකයෙන් මනුෂ්‍ය රුවක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත් වී සිටී. මේ සටහන සමඟ ඇත්තේ එම මනුෂ්‍ය රුවය. විද්‍යාඥයන් පරිගණකයෙන් නිර්මාණය කළ මනුෂ්‍ය රූපය; එසේත් නැතිනම් ගැහැනු රූපය, ‘මින්ඩි’ (Mindy) ලෙස නම් කර තිබේ. වසර 3000 පසු කරද්දී හෝ කව වසර 800 කින් හෝ මිහිමත සිටින මිනිසා සහ ගැහැනිය මේ මින්ඩිට සමාන වනු ඇති බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.

 

මින්ඩි

අප දිගටම, අපේ ස්මාර්ට් ෆෝන් දෙස සහ පරිගණක දෙස හිස පහතට හරවා බලන් සිටීමෙන් අපේ අනාගත මිනිසාගේ කොන්ද ‍‍කුදු වනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. එපමණක් නොවෙයි, ස්මාර්ට් ෆෝන් අල්ලන් සිටීමෙන් අපේ අත්වල ඇඟිලිවල පිහිටීමත් විකෘති හැඩයක් ගනු ඇත. විද්‍යාඥයන් පවසා ඇත්තේ වසර 800 කින් මිනිස් සිරුරේ දකින්න ලැබෙන කැපී පෙනෙන වෙනස්කම් වනු ඇත්තේ මේවා බවය. වසර 800කින් මිනිසාට වෙන දේ මේ විදියට පැහැදිලි කරන්නේ ටෝල් ෆ්‍රී ෆෝවර්ඩින් නම් ආයතනයයි. මෙම ආයතනය ‘මින්ඩි’ පරිගණක ඇසුරින් නිර්මාණය කර තිබෙන්නේ,  විද්‍යාත්මක විමර්ශනයකින් පසුවය. ස්මාර්ට් දුරකථන හා ලැප්ටොප් - ටැබ්ලට් පරිගණක නිරන්තරව භාවිත කිරීම නිසා මිනිස් සිරුරේ සිදුවිය හැකි මෙම වෙනස්කම්වලට අදාළ විද්‍යාත්මක පර්යේෂණ මාලාවකින් හා විෂයාන්තික දැනුම ඇති විශේෂඥ උපදෙස් සැලකිල්ලට ගෙන අවසානයේ දී ඒ තොරතුරු ත්‍රිමාන සැලැසුම්කරුවකුට බාර දී ඒ අනුව ‘මින්ඩි’ නිර්මාණය කර ඇත්ත‍ේ.

 

ආචාර්ය නිකෝලා ජෝර්ජෙවිච්

‘කශේරුකාවේ කුදු වීමක්, ඝන හිස් කබලක්, කුඩා මොළයක්, දෙවැනි ඇස් පිල්ලම් යුගලක් ඇති වීමටත් ඉඩ තියෙනවා’ යැයි මෙම පර්යේෂණයට සම්බන්ධ වී සිටින ආචාර්ය කේ. ඩැනියෙල් රීව් පවසයි. ටෝල් ෆ්‍රී ෆෝවර්ඩින් මෙඩි අලර්ට් හෙල්ප් ආයතනයේ ආචාර්ය නිකෝලා ජෝර්ජෙවිච් මෙසේ පවසා ඇත. “අපි අපේ ෆෝන් අල්ලන විදිය අනුව අපේ අතේ යම්යම් තැන්වලට පීඩාවක් එල්ල වෙනවා. ඒ අනුව ඇඟිලිවල විකෘතියක් වෙන්න පුලුවන්. ස්මාර්ට් ෆෝනය නිසා ඔබේ වැලමිට අංශක 90 කෝනයකට නැමී තිබීම ස්ථිර විය හැකියි. එහි ක්‍රියාකාරිත්වය දකුණු අතේ ඇඟිලි නිතරම පා‍විච්චි කිරීම නිසා ඒවායේත් විකෘතියක් ඇති විය හැකියි.” නිකෝලා ජෝර්ජෙවිච් පවසා තිබේ. “මේ ආකාරයට අපි ස්මාර්ට් ෆෝනය දිහා බලා ඉඳීමෙන් කශේරුකාවේ කුදු වීමක් විතරක් නොවෙයි, දිගු, ලොකු බෙල්ලක් ඔබට ලැබෙන්නටත් ඉඩ තියෙනවා. මෙහි පළවෙන මෙන්ඩි මොඩලය දැක්කාම ඔබට ඒ බව හිතා ගන්න අමාරු වෙන එකක් නැහැ.” යැයි නිකෝලා ජෝර්ජෙවිච් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

 

ආචාර්ය කේ. ඩැනියෙල් රීව්

“මෙසේ පහතට හිස හරවාගෙන පැය ගණන් ස්මාර්ට් ෆෝනය හෝ පරිගණකය දිහා බලාගෙන සිටීම නිසා, හිස එසවීමේ දී බෙල්ල පසුපස ඇති පේශීන්ට මහත් වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා.” යැයි නිව්යෝක් ප්‍රෙස්බිටේරියන් ඕච් ස්පයින් රෝහලේ ආචාර්ය කේ. ඩැනියෙල් රීව් පවසයි. “මේ පේශීන් පමණ ඉක්මවා වෙහෙසීම නිසා විකෘති වීම් ඇති වෙන්න පුලුවන්. ඒ වගේ ම ඒ විකෘති වීම් නිසා ඝනකම් හිස් කබලක්, කුඩා මොළයක්, විතරක් නෙවෙයි, දෙවැනි ඇස් පිල්ලම් යුගලක් ඇති වීමටත් ඉඩ තියෙනවා.” කියා ඔහු වැඩිදුරටත් කියා සිටී.

 

ආචාර්ය කසුන් රත්නායක

ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ පිහිටි ටොලේඩෝ පර්යේෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වූ ආචාර්ය කසුන් රත්නායක මේ ඇහිපිල්ලම් ඇති වීම ගැන අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙවැන්නකි. “නිතරම අධික ලෙස ආලෝකයට ඇස් නිරාවරණය වීම නිසා ‍ඊට පිළියමක් වශයෙන් කල්යාමේදී මිනිසාගේ ඇස්වල ලොකු ඇස් පිල්ලම් දෙකක් අතිරේකව ඇස්වල ඇතුළෙන් අලුතින් නිර්මාණය වීමට ඉඩ තියෙනවා. එසේ වන්නේ ඇස තුළට එන නිල් පැහැ ආලෝකය වළක්වන්නයි. එයින් කොළ, කහ සහ රතු වැනි අධිතරංග ආයාම ඇස තුළට ඒම වැළැක්වෙන්නේ නැහැ.”

 

එමාගේ කතාව

මෙවැනි ව්‍යාපෘතියක් 2019 දී ‘එමා’ නමින් ක්‍රියාත්මක කෙරුණි. එයින් අපේක්ෂා කෙරුණේ අනාගතයේ එන වැඩපළ සහකරුවන් කෙතරම් අලස අය වේවිද කියා සොයා බැලීමය. ‍වැඩ කරන සගයන් වෙනුවෙන් හොඳ වැඩ පරිසරයක් ඇති කර ගැනීමේ වැදගත් කම ගැන සොයා බැලීමට ව්‍යාපෘතිය දියත් කෙරුණි. ඒ පර්යේෂකයන් කණ්ඩායම සේවකයන් 3,000 ක් දෙනා සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වමිණි. ඒ ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු, රැකියාව ගැන, රැකියාව කරන පරිසරය ගැන ආදිය ගැන විමසීම් කරමිනි. එයින් ලැබුණු තොරතුරු මත ‘එමා’ යන නමින් සේවක නිදර්ශනය සැකැසිණි. ඇයත් මේ යුරින්ම දිනපතා පැය ගණනක් එක දිගට ඇගේ මේසයේ වාඩි වී පරිගණකයට නැඹුරු වී ගත කළ බැවින් සිරුරේ කුදු හැඩයක් ගත් අයෙකි. එසේ ම ඇගේ ඇස් වියළී රත්පැහැ ගැන්වී තිබුණි. ඒ ඇය පැය ගණනක් එක දිගට පරිගණකය දෙස බලා සිටින නිසාය. ඒ වගේ ම කෘත්‍රිම දීප්තිමත් ආලෝකයක් යට වසර ගණනාවක් ගත කිරීම නිසා ඇගේ සම පාණ්ඩු පැහැයක් ගැණුනි.

 

‍හිතලා බලන්න

’මින්ඩි’ නිර්මාණය කළ පර්යේෂකයන් මේ කටයුත්තෙහි යෙදුණේ පරිගණකයත්, ස්මාර්ට් ෆෝනයත් දිගටම වසර 800 ක් නො වෙනස්ව එකම තැන එකම විදියට ම තියේවි යැයි සිතාගෙන බව පැහැදිලිය. ඒත් කල්පනා කර බලන්න. එය එසේ විය නොහැකිය. අනාගතයේ දිනෙක, ස්මාර්ට් ෆෝනය අතෙන් ඉවත්ව උපැස් යුවළට එක් වෙන්න පුළුවනි. පරිගණකයත් තවත් ඉසියුම් වෙමින් උපැස් යුවළ හා සම්බන්ධ වී ඔබේ ඇස් ඉදිරිපිට මැවුණු තිරයක දර්ශනය වෙන්න පුළුවනි. ඔබ යතුරුලියනය නොකර ඔබ කියන දෙය ඔබේ හඬ මගින් පාලනය වෙන්නට පුළුවනි. එහෙම වුනොත් හිස කඩා ගෙන, පහත් වී, කොන්ද කුදු කර ගනිමින්, පැය ගණන් පරිගණකයේ වැඩ කිරීමත් ඇඟිලි විකෘති කර ගෙන ස්මාර්ට් ෆෝනය පාවිච්චි කිරීමත් නතර වනු ඇත. එසේ නම්, මේ ‘මින්ඩි’ වගේ කෙනෙකු නිර්මාණය වන්නේ කෙසේද? එහෙම නේද?

 

ලුසිත ජයමාන්න

ඩලිමේල් ඇසුරිනි

දින පොත