මරණයට සිනාසෙන මෙක්සිකානුවන්ගේ උත්සවය

2021 දෙසැම්බර් මස 05 ප.ව. 10:52 - {{hitsCtrl.values.hits}}  

මළවුන්ගේ දිනය

මෙක්සිකානු බසින් ඩියා ඩි ලොස් මුවෙර්තෝස් යැයි කියන මළවුන්ගේ දිනය, මෙක්සිකානු වැසියන්ට ඉතා වැදගත් දිනයකි. මළවුන්ගේ දිනය මෙක්සිකෝවේ ස්වදේශික ජනයාගෙන් පැවත එන, පුරාණ ඇස්ටෙක් සංස්කෘතිය දක්වා වසර දහස් ගණනක් ඈතට දිවෙන මූලාරම්භයක් සහිත උත්සවයකි.

මෙක්සිකානුවන් මළවුන්ගේ දිනය සමරන්නේ මරණය ජීවිතයේම කොටසක් බව සහ මළවුන් සිහිපත් කරන්නට යි. ඇස්ටෙක් සංස්කෘතියට අනුව, මරණය යනු තාවකාලික දෙයකි. ජීවත් වෙන අය දැක ගැනීම සඳහා මළවුන්ගේ ආත්මවලට නැවත පැමිණිය හැකි බව ඔවුන්ගේ මතයයි. හැම වසරකම නොවැම්බර් දෙවැනි දාට එය යෙදී තිබේ.

මෙය ප්‍රධාන වශයෙන්ම මෙක්සිකෝවේ සම්ප්‍රදායකි. එහෙත් ලෝකයේ අනෙකුත් කතෝලික රටවල ද මිය ගියවුන්ට ගරැ බුහුමන් දැක්වීම් පැවැත්වේ. නොවැම්බර් පළමු වෙනි දා සියලු ආත්මයන්ගේ දිනය/ සියලු සාන්තුවරයන්ගේ දිනය ලෙස පිළිගැනෙන අතර කතෝලික බැතිමතුන් මිය ගිය ඥාතීන් සිහිපත් කරමින් ඔවුන් උදෙසා යාඥා කරති. මල් සහ ඉටිපන්දම් රුගෙන තම මියගිය ඥාතීන්ගේ සොහොන් වෙත යති.

ඔස්කාර් සම්මානලාභී කොකෝ නමැති ඇනිමේෂන් චිත්‍රපටය නරඹා ඇත්නම් මේ කියන මළවුන්ගේ දින උත්සවය ගැන ඔබ දැනුම්වත් ඇති.

මළවුන්ගේ වේදිකාව ඔෆ්රෙන්ඩාස්

මෙක්සිකෝවේ හැම නිවසකම පාහේ මළවුන් සැමරීමට සැකසූ විශේෂ අල්තාරයක් ඇත. එය ඔෆ්රෙන්ඩාස් යනුවෙන් හඳුන්වනු ලබයි.

 දීප්තිමත් කහ පැහැති මල්, සීනි සහ චොකලට්වලින් සැදූ හිස්කබල්, පවුලේ මිය ගිය ආදරණීයයන්ගේ ඡායාරෑප, ඔවුන් ජීවත්ව සිටියදී භාවිත කළ ප්‍රියතම යමක්, නැතහොත් සංගීත භාණ්ඩයක් මෙන්ම දැල්වූ ඉටිපන්දම් සහ හඳුන්කූරැ, පෑන් දෙ මුවෙර්තෝ (මළවුන්ගේ පාන්) යනුවෙන් හඳුන්වන සාම්ප්‍රදායික මෙක්සිකානු පේස්ට්‍රි වර්ගයක් ආදිය එම අල්තාරය මත තැබේ.

මිය ගිය ආදරණීයයන්ගේ ප්‍රියතම ආහාර පාන ද අල්තාරය මත නොවරදින අංගයකි. මළවුන්ට සිය නිවෙස්වලට ඒමට මග සොයාගැනීම සඳහා දීප්තිමත් කහ පැහැයෙන් සහ සුවඳින් යුත් දාස්පෙතියා මල්වලින් නිවෙස් සරසනු ලැබේ.

ඒවා ෆ්ලෝර් දි මුවෙර්තෝ යනුවෙන් හඳුන්වයි. එහි අරැත මළවුන්ගේ මල යන්නයි. එමගින් ජීවිතයේ සුන්දරත්වය සහ බිඳෙන සුළු බව සංකේතවත් කරයි.

අල්තාරය  තට්ටු කිහිපයක්

අල්තාරයක සාමාන්‍යයෙන් තට්ටු කිහිපයක් ඇත. තට්ටු දෙකකින් අහස සහ පොළොව ද, තට්ටු තුනකින් ස්වර්ගය, පොළොව සහ පවිත්‍රාගාරය (කිතුනු  විශ්වාසය අනුව ස්වර්ගයට යාමට පෙර පව් සමාකරගන්නා තැන), තට්ටු හතකින් මරණින් පසු ජීවිතයට යන පියවර හත සංකේතවත් කරයි.

පොළොව, අහස, වාතය සහ ගින්දර යන සතර මහා භූත සංකේතවත් කරන දෑ අල්තාරය මත තැබේ. අළු හෝ දුහුවිලි මගින් පොළොව සංකේතවත් කරන අතර දිගු ගමනක යෙදුනු මළවුන්ගේ පිපාසය නිවා ගැනීමට වතුර වීදුරැවක් තිබේ. කුඩා ළමුන්ගේ අල්තාර මත සෙල්ලම් බල්ලන් සහ විවේක ගැනීම සඳහා ගෙතූ ඇතිරිල්ලක් ආදිය තැබේ.

දැවැන්ත උත්සවයක් වෙලා

මෙක්සිකානු සංස්කෘතියේ කොටසක් වන මළවුන්ගේ දිනය වර්තමානයේදී විදෙස් සංචාරකයන් ගෙන්වා ගන්නා දැවැන්ත උත්සවයකි. සංචාරකයන් රටපුරා නගරයෙන් නගරයට යන්නේ මළවුන්ට නැවත මිනිස් ලෝකයට ආරාධනා කරන අල්තාරවල අලංකාරය දැක ගැනීම සඳහා යි. ඇටසැකිලි සහ හිස්කබල් ලෙස සැරසීම, මුහුණු පින්තාරැ කරගැනීම ද මළවුන්ගේ උත්සවයේ ආවේණික අංගයකි.

ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල මරණය දුක් සහිත දෙයක් ලෙස සැලකුවද, මෙක්සිකානුවෝ මරණය ද ජීවිතයේ කොටසක් ලෙස සලකති. මළවුන්ගේ උත්සවයේදී හැම හිස්කබලක් සහ ඇටසැකිල්ලක්ම සිනාවක් සහිතව නිරූපණය කර ඇත්තේ එබැවිනි.

ද නිව්යෝර්ක් ටයිම්ස්, නැෂනල් ජියෝග්‍රැෆික් කිඩ්ස් සහ ද වොෂිංටන් පෝස්ට් වෙබ් අඩවි ඇසුරින්.

පරිවර්තන සටහන - නිසංසලා දිසානායක

 

දින පොත