සඳකඩපහණ

2021 අගෝස්තු මස 04 ප.ව. 07:05 - {{hitsCtrl.values.hits}}  

අර්ධ චන්ද්‍ර පාෂාණ, අඩසඳපහණ, සඳකඩගල, ගල් දොර පඩිය, චන්ද්‍රකාන්ත පාෂාණ ආදී වශයෙන් හැඳින්වෙන්නේ සඳකඩපහණයි. සඳකින් අඩක් සේ සැලකෙන අර්ධ කවාකාර හැඩයෙන් යුතු පැතලි ගල් පුවරැවක් අගනා කැටයමක් බවට පත් වී ඇත්තේ ශිල්පීන්ගේ කුසලතාවෙනි. සඳකඩපහණ යන වදන ප්‍රථම වරට භාවිත වී ඇත්තේ දහතුන් වන සියවසේ රචිත සද්ධර්මරත්නාවලී කෘතියේයි. ඊට පෙර ලියවී ඇති සිංහල සාහිත්‍ය කෘති දෙකකම සඳකඩපහණ පිළිබඳ අදහස් ඉදිරිපත් වී ඇතත් එය හැඳින්වෙන්නේ වෙනත් නාමයකිනි. ආරම්භක අවධියේදී ගොඩනැගලි පියගැටපෙළ පාමුලෙහි පාපිස්නයක් ලෙස සඳකඩපහණ භාවිත වී ඇත. එය කලාත්මක කැටයමින් යුක්තය. අනුරාධපුර හා පොලොන්නරැ නටබුන් අතර සමහර මෙවැනි ශිලාමය පාදෝණි අදත් දක්‌නට ඇත. පොලොන්නරැව දළදා චතුරශ්‍රයට ඇතුළු වන තැන ඇති පිවිසුම් දොර පසෙක ඇති පුරාණ ශිලාමය පාදෝණිය එම කාර්යය අදත් සිහිපත් කරයි.  
භව චක්‍රය
වර්තමානය වන විට බොහෝ දුරට සඳකඩපහණ බෞද්ධාගමික පූජනීය ස්ථානයකට ඇතුළුවන දොරටුව ඉදිරියේ දැකිය හැකිය. පැතලි ගල් පුවරැවක් මත නිමවුණු සඳකඩපහණ වෘත්තාකාර තීරැ පහකට බෙදා ඇත. එහි අනුපිළිවෙලින් ගිනි දැල්ල, සත්ව පේළිය, ලියවැල, හංසපේළිය හා නෙළුම් මල කැටයම් කර ඇත. ඇත්, අස්, ගව, සිංහ යන සතුන් එකා පසු පස එකා යන අයුරින් කැටයම් කර ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ අදහස වන්නේ සඳකඩපහණින් භව චක්‍රය පිළිබඳව අදහසක් පෙන්නුම් කරන බවයි. එකිනෙක තීරැ වලින් එය විස්තර වන්නේ පහත ආකාරයටයි. 
ගිනි දැල්ලෙන් - රාගය
සත්ව පේළියෙන් - සතර බිය
ලියවැලෙන් - තණ්හාව
හංස පේළියෙන් - සත්‍යාවබෝධය
නෙළුම් මලෙන් - නිර්වාණය

අල්ප උන්නත
සත්ව පේළියෙන් සතර දිසාව, සතර පෙර නිමිති, සතර බිය පෙන්නුම කරන බවටද විචාරක මත පළ වී ඇත. මුවින් නෙළුම් පොහොට්ටුවක් රුගත් හංසයින් එකා පසු පස එකා යන්නේ සත්‍ය සොයා යන්නාක් මෙනි. අල්ප උන්නත ශිල්ප ක්‍රමයට අනුව නෙළා ඇත.  හංසයා යනු පාරිශුද්ධභාවයේ සංකේතයකි. හංසයා කිරෙන් දියර වෙන්කර ගැනීමට හැකි සත්වයෙකු මෙන්ම සරස්‌වතී දෙවඟනගේ වාහනයයි. මඩෙහි වැඩුණ ද නෙලුම් මල ජලයෙන් ඉස්‌මතු වී පිරිසුදු බව හඟවමින් පිපෙයි. පද්මය බුදුරදුන්ට ද ආසනයක්‌ වෙයි. එබැවින් පද්මාසනය බුදුන්ට මෙන්ම යෝගීන්ට ද පොදුය.
හොඳම සඳකඩපහණ
අනුරාධපුර යුගයේදී නිම වුණු හොඳම සඳකඩපහණ සේ සැලකෙන්නේ බිසෝ මාලිගය ඉදිරිපිට ඇති සඳකඩපහණයි. හින්දූන්ගේ බලපෑම නිසා පොලොන්නරැ යුගයේදී සඳකඩපහණින් ගවයා ඉවත් විය. පොලොන්නරැ යුගයට අයත් හොඳම සඳකඩපහණ සේ සැලකෙන්නේ පොලොන්නරැ දළදා මළුවේ වටදාගෙයි උතුරැ දොරටුවේ ඇති සඳකඩපහණයි. මහනුවර යුගයේ සඳකඩපහණ හැඩයෙන් හා ආකෘතියෙන් සම්පූර්ණයෙන්ම වෙනස් විය. සංකීර්ණ තිරිඟිතලය වැනි මෝස්තර රටාවන්ගෙන් සැරසී ඇත. දළදා මාලිගයේ සඳකඩපහණ මීට නිදසුන්ය. 


 

දින පොත