“පරිසරය අප රකියි - රකිමු අපි පරිසරය” 14 වැනි පරිසර නියමු ජාතික කඳවුර 19-22 ත්‍රිකුණාමලය නාවික සාගරි
- 2018-09-04 14:30:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්‍ය සැප්තැම්බර් මස 19, 20, 21 හා 22 යන දිනවලදී පැවැත්වෙනුයේ, ත්‍රිකුණාමලය, නාවික සාගරික විද්‍යාපීඨ පරිශ්‍රයේ දීය. පරිසර නියමුවන් 375ක් සමඟ පරිසර නියමු ක්‍රියාකාරීන් විශාල පිරිසක් දින 4ක් පුරා කඳවුරු බඳින මෙවර කඳවුරේ සමාරම්භක උළෙල සැප්තැම්බර් මස 20 දින පෙරවරු 9.00 ට මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම , නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර ඇත. ප්‍රදේශයේ දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන් සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් මෙම සමාරම්භක උත්සවයට සහභාගී වීමට නියමිතය.
අනාගත ශ්‍රී ලාංකේය පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කිරීමේ උදාර පරමාර්ථයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පුළුල් පරිසර ජාලය පරිසර නියමු වැඩසටහනයි. 1984 දී කොළඹ, මාළිගාවත්ත නව නගරය කේන්ද්‍ර කරගනිමින් සිසුන් 25 දෙනෙකුගේ කුඩා කණ්ඩායමකින් ඇරඹි මෙම වැඩසටහන අද වන විට දිවයින පුරා බොහෝ පාසල්වල ක්‍රියාත්මක වැඩසටහනක් බවට පත්ව ඇත. වත්මන් පරිසර අමාත්‍යතුමන් ලෙසින් අතිගරු ජනාධිපතිතුමන් විසින් "නීල - හරිත යුගයක්" අනාගත ශ්‍රී ලංකාවේ බිහිකිරීම සඳහා ගෙනයන පුළුල් වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරලීම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ක්‍රියාකාරකම් ගණනාවකි. ඒ අතර, 2020 වන විට ශ්‍රි ලංකාවේ සෑම පාසලකටම පරිසර නියමු වැඩසටහන හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක් ද මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. “පරිසරය අප රකියි - රකිමු අපි පරිසරය” තේමාව යටතේ ජාතික පරිසර නියමු වැඩසටහන හරහා ශ්‍රී ලාංකේය පාරිසරික උරුමය සුරැකීමට පියනගන පරිසර නියමුවකු පරිසර ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වෙමින් පදක්කම් 05ක් ලබාගැනීම දක්වා ක්‍රියාවලියක ගමන් කළ යුතුය. එහිදී විශේෂ දක්ෂතා දැක්වූ පාසල් 60ක පරිසර නියමුවන් 375ක් පමණ ඇතුළත්ව 530 ක පමණ පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිතය. සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් පරිසර සුරැකුම යන පොදු අරමුණ වෙනුවෙන් කඳවුරු බඳින සුවිශේෂි පාරිසරික ක්‍රියාකාරකමක් ලෙස මෙම සිව්දින කඳවුර හැඳින්විය හැකිය.
1998 වර්ෂයේදී රන්දෙණිගල වනජිවී පුහුණු මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන ලද පරිසර නියමු කඳවුරු වැඩසටහන මෙවර පැවැත්වනුයේ 14 වන වරටය. පරිසර නියමුවන් පාසලේදී පරිසරය පිළිබඳව ලබන න්‍යායික දැනුම දින 04ක් පුරා ප්‍රායෝගිකව අත්විඳීමේ අවස්ථාව ලැබෙන පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුම්වත් කිරීමේ අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
මෙවර පරිසර කඳවුර තුළ රුක්රෝපණ වැඩසටහන්, පාරිසරික කරුණු අලලා සකස් කළ විද්වත් දේශන, ජාතික ශිල්ප සභාවේ මෙහෙයවීම මත පරිසර නියමුවන්ගේ නිර්මාණ පොළ, පාරිසරික සංස්කෘතිකාංග හා සංස්කෘතික දේශන වැනි ක්‍රියාකාරකම් සමඟ ප්‍රීමා කර්මාන්ත ශාලාව, මිට්ෂුයි සිමෙන්ති කම්හල, නාවික කෞතුකාගාරය යන ස්ථාන වල ක්ෂේත්‍ර පරිසර ගවේෂණ ගණනාවකටද සහභාගී වීමේ අවස්ථාව උදාවනු ඇත. මීට අමතරව යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසුන් විසින් “ක්‍රිෂ්ණ නදී ඩෙල්ටාවේ අන්දරය” නම් වූ චරිත රංග අභ්‍යාසය ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර තිබීම මෙවර කඳවුරේ විශේෂත්වයකි.
එමෙන්ම තිරසර පාසල් වැඩසටහනේ ආහාර නිෂ්පාදනය ඉහළනංවමු, පරිසරය සුරකිමු, මත්ද්‍රව්‍ය නිවාරණයේ වැදගත්කම, වකුගඩු රෝග ව්‍යාප්තිය, දරුවන් සුරකිමු යන ප්‍රධාන තේමාවන් ඔස්සේ පවත්වනු ලබන පරිසර නියමුවන්ගේ කථික තරගයේ ජාතික මට්ටමේ තරගාවලිය පැවැත්වීම හා ත්‍යාග ප්‍රදානය ද මෙම වැඩසටහනට සමගාමී ව පැවැත්විමට කටයුතු යොදා ඇත.
නීල හරිත යුගයක් ගොඩනැගීම උදෙසා පාරිසරික වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති මෙවන් කාල වකවානුවක, අනාගත ශ්‍රී ලාංකේය පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින්, සුන්දර රටක් දැයට දායාද කිරීමට මෙවැනි පාරිසරික ක්‍රියාකාරකම් මඟින් විශාල පිටුවහලක් ලැබෙන බව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments