පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙන

2024 අප්‍රේල් මස 29 ප.ව. 02:08 - {{hitsCtrl.values.hits}}  

ක්‍රි.ව. 1415 දී හවැනි පැරකුම්බා රජු කෝට්ටේ රාජධානියේ සිංහාසනාරෑඪ වූයේය. ලම්බකර්ණ වංශිකයෙකු වූ මොහුගේ මව සුනේත්‍රා දේවීයයි. පියා සවුළුවිජයබා නිරිඳුගේ පරපුරෙහි වූ ජයමහලෑන නමැති රජ කුමරෙක් විය. සුනේත්‍රා දේවිය තම පුත් කුමරා කුඩාකල දී සතුරන්ගෙන් ආරක්ෂා කරගත්තේ ඉතා දුකසේය. පසුව වීදාගම හිමියන් ඇසුරෙහි වැඩෙමින් ධර්ම ශාස්ත්‍රයෙහි සහ රාජතන්ත්‍රයෙහි ද ප්‍රවීණයෙකු වූ පැරකුම්බා කුමරැ ක්‍රි.ව. 1412 දී රයිගම රාජ්‍ය පදවි ප්‍රාප්ත විය. නැවත ක්‍රි.ව. 1415 දී කෝට්ටේ තම රාජධානිය කරගත්තේය. හවැනි පැරකුම්බාවන් විසින් අලුතින් පිහිටුවන ලද විද්‍යායතන රුසකි. පැපිලියානේ සුනේත්‍රා මහදේවී පිරිවෙන එකල වූ පංචමහා පරිවේණාස්ථාන අතරින් එකකි. 
මව වෙනුවෙන්
රජු විසින් තම මව්තුමිය වූ සුනේත්‍රා මහාදේවිය වෙනුවෙන් පිරිවෙන කරවා ඇත. මේ පිළිබඳව මහාවංශයේ 91 වෙනි පරිච්ඡේදයේ 24 – 25 යන ගාථාවන් හි සඳහන් වේ. සිරි රහල් හිමියන්ගේ පරවි සන්දේශයේ ද ඒ පිළිබඳව සඳහන් වේ. ඉරැගල්කුලතිලක පිරිවෙන් පති හිමියන්ගේ කෝකිල සන්දේශ පැපිලියානේ විහාරස්ථානය පිළිබඳ කරන විස්තරයේ පැපිලියානේ මුනිමැදුරත්, බෝධියත්, විහාරාධිපතීන් වහන්සේත්, විහාරස්ථාන පරිසරයත් මැනවින් වර්ණනා කර ඇත. ගිරා සන්දේශයේ ද ඒ අයුරින්ම පිරිවෙන පිළිබඳ වර්ණනාවක් සඳහන් වේ. 
පැපිලියානේ සෙල්ලිපිය
පළමුවෙන්ම සුනේත්‍රා දේවී පිරිවෙනෙහි නායකත්වයට පත්වූයේ ගලතුරැමුල මේධංකර මහාතෙර සාමීන්ගේ ශිෂ්‍ය වූ මංගල සාමීන් වහන්සේය. මුඛ පරම්පරාගත කතාවලට අනුව කෝට්ටේ රාජධානි සමයේ දී පිරිවෙනෙහි අධ්‍යයන කාර්යයන්යහි යෙදුණු භික්ෂූහු 1000 කට අධික වූහ. පැපිලියානේ සෙල්ලිපියෙන් ද අන් කවර තැනකටත් වඩා උසස් ලෙස සුනේත්‍රා මහදේවී පිරිවෙනෙන් සිදුවූ සේවාවන් සඳහන් කරයි. රජු විසින් අටුවා ටීකා සහිත ත්‍රිපිටකයත් වෙනත් පොත්පතුත් ලිවීම සඳහා මේ ස්ථානයට කෙත්වත් ගම්බිම් ආදිය පුදා ඇත.
ලෝකඩ කරඬුවක්
රජු විසින් දෙන ලද ගම්බිම් හා දැසිදසුන් පිළිබඳව දැක්වෙන ශිලා ලිපියක් අදටත් විහාරස්ථාන භූමියේ නටඹුන්ව පවතියි. විහාරස්ථානයට පූජාකරන ලද ගම්බිම් ආදියේ සීමාවනුත්, ඒවායේ ආදායම්වලින් විහාරස්ථානයේ දිනපතා කළ යුතු ආගමික පුදපූජාත්, පිරිවෙන් අධ්‍යාපන ආදි ශාස්ත්‍රීය සේවාවනුත් විහාර මෙහෙවරෙහි යෙදවූ දැසිදසුන් පිළිබඳවත් විහාරස්ථ සංඝයා විසින් පිළිපැදිය යුතු ආකාරයත් එහි දක්වා ඇත. කෝට්ටේ හවැනි පැරකුම්බා රජු විසින් පුදන ලද අඩි 4 ක් පමණ උස ලෝකඩ කරඬුවක් තුළ තබා ඇති විශාල ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් ද වසර 600 කට අධික කාලයක් පැරණි බෝධි වෘක්ෂයක් ද, වසර 600 ක් පමණ වන පැරණි අරලිය ගසක් ද පරාක්‍රමබාහු රජු පිහිටු වූ සෙල්ලිපියේ කැඩීබිදී ගිය කොටස් කිහිපයක් එක්කොට තැනූ පුවරැවක් ද අද වන විට පන්සල් භූමියේ දැකිය හැකිය. 


සටහන - උපේක්ෂා මුණවීර
ඡායාරෑප - රැසිරැ තරංග 
තොරතුරැ - ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ

 

දින පොත