තස්මේනියා වෙරළ තීරයට ඔබ්බෙහි නොගැඹුරු මුහුදට රැස්වූ තල්මසුන් බේරාගනිති

2020 ඔක්තෝබර් මස 25 ප.ව. 03:48 - {{hitsCtrl.values.hits}}  

ඕස්ට්‍රේලියාවේ තස්මේනියා දූපතේ බටහිර වෙරළ තීරයට ඔබ්බෙන් නොගැඹුරු මුහුදු පෙදෙසෙහි අතරමං වී සිටින තල්මසුන් 270ක් පමණ කණ්ඩායමක් බේරාගැනීම සඳහා බලධාරීහු මේ දිනවල කටයුතු කරමින් සිටිති. දැනට තල්මසුන් 25දෙනෙකු මුදවාගෙන ඇති නමුත්, 90දෙනෙකු මිය ගොසිනි. එහි රැඳී සිටින සෙසු තල්මසුන් ද වැලිවැටියක් සහිත වෙරළෙන් මුදා ගැඹුරු මුහුද වෙත තල්ලු කිරීමට නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

මේ සඳහා දින ගණනක් ගතවිය හැකි බව පැවසේ.මොවුන් නියමු තල්මසුන් (pilot whales) ලෙස හඳුන්වනු ලැබේ. හොඳින් වැඩුණු නියමු තල්මසෙකු මීටර් 7ක් පමණ දිගින් වැඩෙන අතර, ටොන් 3ක් පමණ බරැතිය. ඔවුන් කණ්ඩායම් වශයෙන් වෙරළ තීරයට එක් රැස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිය නායකයා අනුගමනය කරන තල්මසුන් මෙලෙසින්, එකම ස්ථානයකට එක් විය හැකි බව සත්ව විශේෂඥයෝ අනුමාන කරති.තල්මසුන් වෙරළ තීරය අසළ නොගැඹුරු මුහුදු පෙදෙසට පැමිණීම සාමාන්‍ය සිදුවීමක් වුවද, මෙලෙසින් විශාල කණ්ඩායම් වශයෙන් වෙරළට පැමිණ ඇත්තේ, දශකයකට පමණ පසුවය. 2009 වසරේ දී තස්මේනියාවේ වෙරළට තල්මසුන් 200ක් පමණ පැමිණ තිබේ.මෙම තල්මසුන් මුදාගැනීම සඳහා හොඳින් පුහුණු වූ නිලධාරීන් 40 දෙනෙකු යොදවා ඇත. තල්මසුන් බැලීමට එහි රැස්වන මිනිසුන් එම පෙදෙසෙන් ඉවත්කිරීමටද නිලධාරීන් කටයුතු කරමින් සිටින බව පැවසේ.

(බීබීසී ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත