’ලෝකයේ හුදකලා අලියා-කාවන්’ට සෙනෙහෙබර මිතුරු සෙවණක්

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 11:48 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ හුදකලා අලියා' ලෙස හැඳින්වෙන ‘කාවන්’, දැනට වෙසෙන පාකිස්ථානයේ මාගසාර් සත්වෝද්‍යානයෙන් ඉවත් කර කාම්බෝජය වෙත රැගෙන යාමට එරට මහාධිකරණය නියෝග කර තිබේ.

කාවන් ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට පරිත්‍යාග කළ අලියෙකි. 1985 දී ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව සමයේ දී පකිස්තානයට කළ ප්‍රදානයක් ලෙස එහි සත්වෝද්‍යානයට ගිය කාවන්ට මේ වනවිට වයස 35කි.

සහෙලිගේ සහාය

සත්වෝද්‍යානයේ සිටි කාවන්ට සහාකාරිය වශයෙන් ලංකාවේ සිට සහෙලි නම් ඇතින්නක් 1990දී පකිස්තානයට යවන ලදී. මෙම අලි යුවළ සත්වෝද්‍යානයේ කුඩා වපසරියක දිවි ගෙවූහ.  පාදයේ වේදනාවකින් පෙළුණු සහෙලි, බිම ඇද වැටී එලෙසින්ම සිටි අතර, ඒ මුළු කාලය පුරා කාවන් සොඬවැලෙන් ඇය පිරිමදිමින් ඇය අසළම වී සිටියේය. සත්වෝද්‍යාන නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් 2012දී සහෙලි මිය ගියාය.  එතැන් පටන් කාවන් තනිවිය. එතැන් පටන් කාවන් වඩාත් ප්‍රචණ්ඩ වූ බව පැවසේ.

ටකරං මඩුවක හුදකලාවේ

ගහකොළ රහිත මීටර 90 සිට 140 ඉඩ ප්‍රමාණයක ටකරං මඩුවක සිටි කාවන් දැඩි අව් රශ්මියෙන් පීඩා විඳිමින් සිටියේය. අලියාගේ පාදවලට විලංගු යොදා දම්වැල්වලින් ගැට ගසා තිබිණි. දිනකට දහස් ගණනක දුරක් ඇවිදයන සාමාන්‍ය අලියකුට මෙන් ඇවිද යාමට ඔහුට අවසර නොවීය. මේ හේතුවෙන් ඔහුගේ නිය පමණට වඩා වැවී සහ එපමණටම කැඩී ඇති අතර, පාදයට තුවාල ද සිදුව තිබූ බව පැවසේ.  දවසේ බොහෝවෙලාවක් ඔහු ඉදිරියේ ඇති බිත්තියට හිස තබා සිටින ආකාරය ඇතුළත් ඡායාරූප ද අන්තර්ජාලයේ පළ වී තිබිණි.

සත්වෝද්‍යානයේදී ලැබුණු හිංසකාරී සැලකිලි හේතුවෙන් කායික වශයෙන් පමණක් නොව කාවන් මානසිකව ද පීඩාවට පත්ව සිටියේය. පැය ගණනක් පුරා කාවන් හිස ඉදිරියටත් පිටුපසටත් වනමින් සිටින්නට වූයේ, ඒකාකාරී වටපිටාවෙන් කලකිරීමට පත්වූවාක් මෙනි.

සත්ව ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම්

සත්ව ක්‍රියාකාරීහු 2016 වසරේ සිට කාවන් වෙනත් ස්ථානයකට රැගෙන යා යුතු බවට එරටින් දිගින් දිගටම ඉල්ලීම් කළහ. ඔවුන්ගේ පැමිණීම තරමක් ප්‍රමාද වීම හේතුවෙන්, සත්වෝද්‍යානයේ සිටි සිංහයන් දෙදෙනෙකුට මිය යාමට සිදුවිය. එම සිංහයන් වෙනත් ස්ථානයක් වෙත ගෙන යාම වෙනුවෙන් එහි සිටි පිරිස ඔවුන් නියමිත කූඩු වෙත යැවීම සඳහා ඒ අසළ ගිනි දල්වා තිබුණි.

කාවන්ගේ නිදහස වෙනුවෙන් ඇමෙරිකානු ගායන ශිල්පිනියක් වන චෙරිලින් සාකීෂියන්(චෙර්), සත්ව ක්‍රියාකාරී එකමුතු සහ ස්වේච්ඡා සංවිධාන විරෝධතාවක් ආරම්භ කර තිබිණි. ඒ වෙනුවෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් අන්තර්ජාලය ඔස්සේ ද පෙත්සමක් අත්සන් කළහ. ඒ අනුව, කාවන් වෙනත් රටක සුදුසු වාසස්ථානයක් වෙත යැවීමට මහාධිකරණය නියෝග කළේය.

මිතුරු අමීර්ගේ ගී අහන කාවන්

 

මේ අලියාට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් අතර සිටින අමීර් නම් පශු වෛද්‍යවරයා  කාවන්ගේ මනස සුවපත් කිරීම සඳහා ගීත ගායනා කරයි. ඒවා අසන කාවන් ප්‍රචණ්ඩ හැසිරීම් ඉවත ලා සාමාන්‍ය තත්වයට පත්වන බව නිලධාරීන් හඳුනාගෙන ඇත. අමීර් මහතා, යුද කලාපවල සතුන් බේරාගැනීම වෙනුවෙන් කටයුතු කළ පශු වෛද්‍යවරයෙකු වන අතර, මේ වනවිට ඉස්ලාමාද්හි සත්ව හිමිකම් සංවිධානයක සේවය කරයි. කාම්බෝජයට ගෙන යා හැකි තරමට කාවන් සුව වනතුරු ඔහුව රැකබලාගන්නේ අමීර් මහතාය. පශු වෛද්‍යවරයා ගයන ගීය වන්නේ, ඇමෙරිකානු ගායකයකු වන ෆ්‍රෑන්ක් සිනත්‍රාගේ 'මයි වේ' (My Way)නම් ගීයයි̔.

‘අපි සත්තුවත්තට ආවේ දවස් 10කට කලිනුයි. ඒ ආවාම, මම සිංදු කියන්න පටන්ගත්තා. දැන් කාවන් පුහුණුවෙලා ඉන්නවා මම කියන සිංදු අහන්න. එයා මට ඉඩදුන්නා ඒ දේට. ඒනිසා දැන් අපි අතර බැඳීමක් ඇතිවෙලා’ යැයි ඔහු පවසයි.

අමීර් මහතා ඇතුළු පශු වෛද්‍යවරුන් සහ සත්ව ක්‍රියාකාරීන් විසින් ලබාදෙන ප්‍රතිකාර අවසන්ව කාවන් කාම්බෝජයට කෙදින පිටත් කර හරින්නේද යන්න මෙතෙක් තීරණය කර නොමැත. අලියා සුව තත්වයට පත් වූ පසු එය සිදුවනු ඇත. අලියාගේ සෞඛ්‍ය සහ මානසික තත්වය යහපත් අතට ගැනීමට පශු වෛද්‍යවරුන් ක්‍රියාකරමින් සිටින අතර, කාවන් නිදිගැන්වීම සඳහා ඔවුහු වේදනානාශක ඖෂධයක් ලබාදෙති.

කරුණාබරව කාවන්ව නිදහස් කරන්න

කාවන් අලියා සත්වෝද්‍යානයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තානයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන මලික් අමින් අස්ලම් මහතා මෙසේ කීය.

‘කුළුණුබර සිතකින් මේ අලියාව නිදහස් කරන්න. ඔහුට සතුටින් ජීවත් වෙන්න ලැබේවි’

කාවන් රඳවා සිටි මාගසාර් සත්වෝද්‍යානය නියමිත පටිපාටියකට අනුව සංවර්ධනය කරන තුරු, එහි සිරකර සිටි සිංහයන්, දුඹුරු වලසුන්, පක්ෂීන් ඇතුළු තවත් සතුන් ද තාවකාලිකව වෙනත් ස්ථාන වෙත මාරුකර යවන ලෙස පාකිස්තානු මහාධිකරණය එහි නිලධාරීන්ට නියෝග කර තිබේ.

- ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත