Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සමාජ ගැටලු සහ ප‍්‍රශ්න හඳුනාගනිමින් රටට සහ ජනතාවට වඩා හොඳ සේවයක් ඉටුකිරීමට සෑමවිටම උගතුන් සහ බුද්ධිමතුන් ඉදිරියට පැමිණිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමන්ට අයත් එක් ක්ෂේත‍්‍රයකට පමණක් සීමා වෙමින් උගතුන් සහ බුද්ධිමතුන් සමාජය තුළ හුදකලා විය යුතු නැති බව පැවසූ ජනාධිපති සමාජයේ බොහෝ ප‍්‍රශ්න සහ ගැටලු විසඳාගත හැක්කේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ හඬත් සමග බව ද කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ කෑගල්ල විද්‍යාලයේ 75 වැනි සංවත්සරික සැමරුම් උළෙලට එක් වෙමිනි.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනපති වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ උගතුන් සහ බුද්ධිමතුන් තම දැනුම බාහිර සමාජයේ ප‍්‍රගතිය සඳහා ප‍්‍රායෝගිකව කි‍්‍රයාවේ යොදවමින් සාමාජ සාධාරණත්වය උදෙසා කි‍්‍රයාකළ යුතු බවයි.

අද නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵල නෙළා ගන්නා යුගයක්, අද ලෝකයේම පැසසුමට ලක්ව ඇති අපේ නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් තවදුරටත් ශක්තිමත් කිරීමට රජයේ වගකීම් නොපිරිහෙළා ඉටුකරන බවද ප‍්‍රකාශ කළේය. කෑගල්ල විද්‍යාලයේ 75 වන සංවත්සර සැමරුම වෙනුවෙන් පැවති ප‍්‍රදර්ශනය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර ප‍්‍රදර්ශනය නැරඹීමට ජනාධිපතිතුමා එක් විය. විද්‍යාලයේ සිසුන් විසින් ලියන ලද ග‍්‍රන්ථ 22 ක් සහිත පොත් කට්ටලය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. විශිෂ්ටතා දැක්වූ සිසුන්ට ජය සංකේත සහ සහතික පත් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

කෑගලු විද්‍යාලයේ 75 වන සංවත්සරය අමතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කළ කතාව 

කෑගලු විද්‍යාලයේ කීර්තිමත් ගමන් මග පිළිබඳව සිහිපත් කරමින් පැවැත්වෙන හැත්තෑපස් වසරක සංවත්සර අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. පාසලකට 75 වසරක් යනු ඉතා දීර්ඝ විශිෂ්ට වූ ගමනක්. මේ පාසලේ අද සිටින සිසුන් සංඛ්‍යාවත්, ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා ගත්විටත් මේ පාසලෙන් බිහිවූ සිසුන් 75 වසර තුළ රට ලෝකය ජයග‍්‍රහණය කර ඇති බවට කිසිදු සැකයක් නැහැ. ඔබේ පාසලට මම ආවේ ඉතාමත් සතුටෙන්.

විදුහල්පතිතුමා සහ මෙම සභාව ඇමතූ දරුවා සඳහන් කළා මීට පෙර මේ පාසලට ජනාධිපතිවරයෙක් පැමිණ නැහැ කියා. මා සතුටු වෙනවා ඔබේ විද්‍යාලයට අද පැමිණීම පිළිබඳව. මා මෙහි පැමිණියේ කෑගලු විද්‍යාලයේ 75 වසරක ගමන් මගට ගෞරවය පුදකිරීමටයි. මෙහි සේවය කරන විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් 75 වසරක ගමන් මගේ එදා මෙදා තුර සේවය කළ සෑම කෙනෙකුටත් අපේ ගෞරවය අපි පුදකරනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා කරන විට, අපිට සතුටු විය හැකියි අපේ රට අධ්‍යාපනය ක්ෂේත‍්‍රය තුළින් වඩාත් වේගයෙන් ඉදිරියට ආ රටක් වීම පිළිබඳව. ලෝකයේ රටවල්වල රාජ්‍ය නායකයින් සමග කතා කිරීමේදී අපේ රටට ඔවුන් ගරු කරන කරුණු කිහිපයක් තිබෙනවා. එනම්, මේ රටේ නිදහස් අධ්‍යාපනයේ තිබෙන ගුණාත්මකභාවය, උසස් ප‍්‍රමිතිය. ඒ වගේම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තිබෙන ගුණාත්මකභාවය සහ ප‍්‍රමිතිය. ඊටත් වඩා ලෝකයේ අගය කරන්නේ, ථේරවාදි බෞද්ධ දර්ශනය ඇති රටක් විදියට ලෝකයට විශිෂ්ට මගපෙන්වීමක් කළ හැකි රටක්වීම.

අපේ රටේ මෙන්ම ලෝකය තුළ තිබෙන විවිධ තත්ත්වයන් සැළකිල්ලට ගත්විට අප කවුරුත් දන්නවා සෑම තැනම තිබෙන්නේ තරගකාරිත්වයක්. ඒ තරගකාරිත්වය තුළ පාසලේ දරුවන්ට විභාග තරගකාරිත්වය ප‍්‍රමුඛයි. විදුහල්පතිතුමා සඳහන් කළා ඉංජිනේරු ශිෂ්‍යයින් වෛද්‍ය ශිෂ්‍යයින් උසස් ලෙස විභාග සමත්වී තිබෙනවා කියා. පසුගිය 75 වසර ගත්විට එම වාර්තා විශිෂ්ට බව ඔබ දන්නවා. අද මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵල නෙළා ගත හැකි කාලයක්. අපේ රටේ මෙන්ම ලෝකයේ රටවල්වල අපේ දක්ෂයින් අපේ විශිෂ්ටයින් විවිධ ක්ෂේත‍්‍රවල නායකත්වය ගෙන කටයුතු කරනවා. අපි ඒ විශිෂ්ටයින් පිළිබඳව සතුටු වෙනවා වගේම හෙට දවසේත් අපි සෑම කෙනෙකුටම අයිති වූ වගකීමක්, යුතුකමක්, උරුමයක් වන්නේ තව තවත් අපේ රටට උගතුන් බිහිකිරීමයි. එම උගතුන් අපේ රට වඩාත් යහපත් කරන්න, විනියගරුක හොඳ රටක් කරන්න තම දැනුම යොදවනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපේ රටේ උගතුන් සමාජයේ හුදකලා විය යුතු නැහැ. උගතුන් තමාට අයත් ක්ෂේත‍්‍රය තුළට පමණක් සීමා විය යුතු නැහැ. ඔවුන් සමාජ නායකත්වය ගත යුතු වෙනවා. උගතුන් ඉදිරියට පැමිණිවිට තමයි සමාජයේ බොහෝ ගැටලු සහ ප‍්‍රශ්න විසඳන්න ලැබෙන්නේ.

ඒ නිසා අද තිබෙන සමාජ අභියෝගයන්් අපි තේරුම් ගත යුතුයි. මුදල් මුල්කරගත් සමාජයේ, මුදලින් සියලු ගැටලු සහ ප‍්‍රශ්න විසඳිය හැකියි කියා බොහෝ අය විශ්වාස කරන සමාජයක තරගකාරීත්වය අවශ්‍ය වන්නේ යහපත් පුරවැසියන් පිරිසක් බිහිකරන්නටයි. ඒ නිසා උගතුන් සමාජයේ ඉදිරියට එන්නට ඕනෑ. උගතුන් හඩ නගන්නට ඕනෑ. උගතුන් නායකත්වය ගන්නට ඕනෑ. උගතුන් සහ බුද්ධිමතුන් තම සමාජ කාර්යභාරය සහ වගකීම උසුලන්නට ඕනෑ.

ඒ වගේම උගතෙක් බුද්ධිමතෙක් සමාජ නායකයෙක් සමාජයේ විවිධ ක්ෂේත‍්‍රවල ජීවත්වන අයගේ ප‍්‍රශ්න ගැටලු දුක් ගැනවිලි සඳහා තමාගේ අවධානය යොමු කිරීම අවශ්‍යයි. අපි බොහෝ වේලාවට දකිනවා අපේ උගත් ඇතැම් පිරිස් තමාට අයත් කාර්යභාරයට පමණක් සීමාවී තිබෙනවා. නමුත් තමාගේ දැනුම පාවිච්චි කළ යුතු වෙනවා බාහිර සමාජයේ ප‍්‍රගතිය සඳහා. මේ කෑගලු විද්‍යාලයේ ඔබ පින්වන්ත දරු පිරිසක්. 10200 කට ආසන්න ලංකාවේ තිබෙන පාසැල් අතර ඔබේ පාසැලේ 75 වසරක ගමන් මග ඉතාමත් විශිෂ්ටයි. පසුගිය දිනක අභාවප‍්‍රාප්ත වූ මගේ මිත‍්‍රයෙක් වූ මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමා මේ පාසැලේ ආදි ශිෂ්‍යයෙක්. මා මේ අවස්ථාවේ ගෞරවයෙන් එතුමාව සිහිපත් කරනවා. ඒ වගේම දයා සඳගිරි මහතා, රාජා විජේතුංග මහත්මයා වැනි අයත් මෙහි ආදි ශිෂ්‍යයන්.

ඒ නිසා මෙම පාසැල ප‍්‍රමුඛයින්ගේ ප‍්‍රමුඛයින්, විශිෂ්ටයින්ගේ විශිෂ්ටයින් බිහිකරන පාසැලක්. විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය දරුවන් වෙනුවෙන් කරන සේවය අපි ඉතාමත් අගය කරනවා. විදුහල්පතිතුමා වසර 7 ක් පොළොන්නරුව ප‍්‍රදේශයේ සේවය කර තිබෙනවා. දුෂ්කර දිඹුලාගල අධ්‍යාපන කලාපයේ. මම ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා. මම පසුගිය සතියේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ගියා. එම පාසැලේ දරුවන් හාරදහස් ගණනක් ඉන්නවා. මම ඇහුවා එහි විදුහල්පතිතුමාගෙන් ඔබ පාසැලට ඇවිත් දවස් කීයක්ද කියා. ඔහු කිව්වා දවස් 10 ක් කියලා. කොහේ ඉදලද ආවේ ඇහුවම මට කිව්වා සර් මම වැලිකන්දේ කියලා. ඉතාම දුෂ්කර ප‍්‍රදේශයක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විදියට සේවය කරපු කෙනෙක් ඔහු. දුෂ්කර ප‍්‍රදේශවල සිට සංවර්ධනය වූ ප‍්‍රදේශවලට එන රාජ්‍ය නිලධාරීන් සමාජයෙන් බොහෝ අත්දැකීම් ලබපු අය. පරිපාලන සේවයේ අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, අම්පාර වැනි ප‍්‍රදේශවල මුල් කාලය තුළ සේවය කරපු අය තමයි අමාත්‍යාංශ ලේකම්වරු කොමසාරිස් ජෙනරාල්වරු තානාපතිවරු, රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිතයින් විදියට ඒ කටයුතු කරන්නේ.

ඇතැම් වෙලාවට අපි දකින ගැටලුවක් සහ ප‍්‍රශ්නයක් තමයි වැදගත් රැකියාවක් ලැබුණම ගෙදර ඉදන් තමයි යන්න හදන්නේ. අඩු වශයෙන් ළඟම ඇති දිස්ත‍්‍රික්කයේ රැකියාවකට යන්නත් කැමති නැහැ. මීට වසර ගනණාවකට එහා ගත්තොත් ඉතා දුෂ්කර ප‍්‍රදේශවල සේවය කළේ එදා වගේම අදත් සංවර්ධිත ප‍්‍රදේශ කියලා හඳුන්වා දුන් ප‍්‍රදේශවලින් බිහිවුණ පිරිස් තමයි ඒ ප‍්‍රදේශවලට ගිහින් මහජනයාට සේවය කළේ. අපි සැමවිටම සමාජයට කළහැකි කළයුතු සේවාවන් සිදුකළ යුතුයි. සමාජයට විවෘත වෙන්න ඕන. ගෙදර ඉදන් නෙමේ ගමෙන් ටිකක් එහාට ගිහින් සේවය කරන්න ඕන. නමුත් අද බොහෝ වෙලවට ගෙදර පරිසරයෙන් ඈත් වෙලා සේවය කරන්න කැමති නැහැ. සමාජ ප‍්‍රශ්න හඳුනාගනිමින් රටට සහ මහජනතාවට වඩා හොඳ සේවයක් කරන්න සැමවිටම උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ කැපවීම උගතුන්ගේ දැනුම ප‍්‍රායෝගිකව ක‍්‍රියාවේ යෙදවීම රටේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අත්‍යවශ්‍යයි.

මම නැවතත් සතුට පළකරනවා අද මෙම අවස්ථාවට සහභාගී වෙලා මේ පින්වන්ත දරු පිරිස හමුවීම පිළිබඳව. මා ඒ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. මීට සහය දක්වන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුළු සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. විදුහල්පතිතුමා මා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළා. මම තාත්තා කෙනෙක් විදියට ඒ ඉල්ලීම ඉටුකළා. දරුවන් තාත්තා කෙනෙක්ගෙන් ඉල්ලන ඉල්ලීම් අහක දන්න බැහැ. මම මාගේ ලේකම්තුමාට ප‍්‍රකාශ කළා එම ඉල්ලීමට අනුව අවශ්‍ය කටයුතු සළසා දෙන්න කියලා.

එමෙන්ම මෙම අවස්ථාවට එක්ව සිටින මායාදුන්නේ මැතිතුමා මා ඉතා ගරු කරන කෙනෙක්. හිටපු විගණකාධිපතිතුමා ඔහු. එවැනි කෙනෙක් මෙම පාසලෙන් බිහිවීම ම ඔබ ලැබූ ජයග‍්‍රහණයක්. ඒ බවත් සිහිපත් කරමින් සියලු දෙනාට සුබ පතනවා.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

 k-2 k-1 3k-3 k-4 k-5 k-6 k-7 k-8

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.