Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔක්තෝම්බර් 01 අදට යෙදෙන ලෝක ළමා දිනය ජාතික උත්සවය අනුරාධපුරය දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින්  පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සැලසුම් කොට ඇත. ''මා පිය වැඩිහිටි සෙනෙහස රඳවමු- සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු...'' මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි. මෙම උත්සව අවස්ථව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය. මේ අවස්ථාවට අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දරුවන් 800ක් පමණ සහභාගීවෙයි.

(රජයේ නිල පුවත් සේවය)

සියලු දරුවන් මිනිස් වර්ගයාගේ අනාගතයයි - ජනපති

අව්‍යාජත්වයේ සහ සුන්දරත්වයේ විශ්වමය සංකේතය ළමයා බවත් ලොව කවර රටක, කවර ජනවර්ගයකට හෝ ආගමකට අයත්ව ඉපදුණ ද ඒ සියලු දරුවන් මිනිස් වර්ගයාගේ අනාගත ඉරණමේ නිර්මාපකයින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි.

2017 ලෝක ළමා දිනය නිමිත්තෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කරයි.  

ජනාධිපතිතුමා විසින් නිකුත් කළ සම්පූර්ණ සුභපැතුම් පණිඩුවය,

අව්‍යාජත්වයේ සහ සුන්දරත්වයේ විශ්වමය සංකේතය ළමයාය. ලොව කවර රටක, කවර ජනවර්ගයකට හෝ ආගමකට අයත්ව ඉපදුණ ද ඒ සියලු දරුවන් මිනිස් වර්ගයාගේ අනාගත ඉරණමේ නිර්මාපකයින්ය.

ළමාවිය යනු දැනුම රැස්කරන අවධියයි. ඒ අර්ථයෙන් දීර්ඝ ළමාවියක් සහිත මිනිස් දරුවා ඒ දිගු ළමාවිය පුරා රැස්කරනුයේ අනාගත මිනිස් විශ්වයෙහි ප්‍රභාවයි. කුතුහලයෙන් ඇවිළුණු දෑසින් ද විශ්මයෙන් අයාගත් මුවින් ද යුතුව විශ්වයේ අරුමැසි රටා වියමන් වටහාගන්නා දරුවන්ට නිදහසේ දැනුම රැස්කර ගැනීමටත්, පරිකල්පනයටත්, ආශ්වාදයටත් ඉඩකඩ සකසාදීම වැඩිහිටි අපගේ වගකීමයි.

තම දරුවන්ට තමන් අත්විඳි ජීවිතයට වඩා සාරවත් හා පරිපුර්ණ ජීවිතයක් ලබාදීම සෑම වැඩිහිටියෙකුගේම අපේක්ෂාවයි. රජයක් ලෙස අපගේ අපේක්ෂාව වන්නේ ද රටේ සමාජ, ආර්ථික හෝ දේශපාලන ගැටලුවලින් පීඩා නොපැමිණෙන පරිපූර්ණ සුන්දර ළමාවියක් රටේ සියලු දරුවන්ට අත්කර දීමයි.

පාසල් අධ්‍යාපනය අනිවාර්යය කරමින් ද, දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය හා මානසික අවශ්‍යතා සපිරීමට ද රජයක් ලෙස අප ප්‍රමුඛත්වයදී කටයුතු කරන්නේ එබැවිනි.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව යමින් ළමයින්ගේ යහ වර්ධනයට එරෙහිව පවත්නා සියලු බාධාවන් මුළුමනින්ම ඉවත් කිරීම අපගේ අපේක්ෂාව ද වගකීම ද වන අතර, ඒ වෙනුවෙන් සමස්ත සමාජයේ අවධානය ද සාමුහිකත්වය ද දිනා ගැනීමට අදට යෙදෙන ලෝක ළමා දිනය කදිම නිමිත්තක් වනු ඇත.

මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ''මා පිය වැඩිහිටි සෙනෙහස රඳවමු - සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු'' යන හිසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ලෝක ළමා දින ජාතික උත්සවය වෙත මාගේ සුබපැතුම් පළකරන අතර දරුවන් වෙත සොඳුරු ලොවක් සැකසීම වෙනුවෙන් ගැනෙන සියලු උත්සාහයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.

ජනාධිපති

මෛත්‍රීපාල සිරිසේන 

---------------------------------------------------------------------------------------------------

දරුවන්ගේ සුරක්ෂිතභාවයට අවධානය යොමු කළ යුතුයි - අගමැති

ළමා ලෝකය වනු මව්බිමේ හෙට දවස බැවින් ළමා ලෝකය පිළබඳ අවබෝධනයෙන් ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වඩාත් අවධානයක් යොමු කිරීම කාලීන වශයෙන් වැදගත් වූවක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ 2017 ලෝක ළමා දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ සුභපැතුම් පණිවුඩය,

අද ළමා ලොව යනු අප මව්බිමේ හෙට දවසයි. ළමා ලොව පිළිබඳව වඩාත් අවබෝධයෙන් දරුවන්ගේ සුරක්ෂිත බව සම්බන්ධව වඩ වඩාත් අවධානය යොමු කිරීම කාලීනව ඉතාම වැදගත් ය. ළමා මනස තේරුම් ගනිමින්, ඔවුන්ට ආදරණීයව සලකමින්, බාහිර සමාජයෙන් මෙන් ම පවුල තුළින් ඒල්ලවන විවිධ පීඩාවන් හමුවේ නිසි රැකවරණය ලබා දෙමින්, ජීවිත අභියෝගයන්ට මුහුණ දෙන්නට දරුවන් ශක්තිමත් කරමින් අපි ඔවුන් රැක බලා ගත යුතු වෙමු.

''මාපිය වැඩිහිටි සෙනෙහස රඳවමු  - සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු''  මෙවර ලෝක ළමා දින තේමාව සමස්ත සමාජයට ඇරයුම් කරන්නේ ළමා ලොව සුරක්ෂිත කිරිමේ ඒ මහඟු කාර්යභාරය වෙනුවෙනි.

දරුවා සියලු ආකාරයේ ආපදා හා අපයෝජනවලින් මුදාගැනීම උදෙසා දෙමව්පිය, වැඩිහිටි අප සැම මහත් වගකීමෙන් කටයුතු කළ යුතු වෙමු. රජය, ජනමාධ්‍ය, ආගමික නායකයින් හා ප්‍රජාව යනාදී සෑම පාර්ශවයක්ම එම වගකීමේ හා වගවීමේ කොටස්කරුවන් බැව් සඳහන් කළ යුතුම ය.

ළමා වියේ ආදරණීය බව, නිර්මල අහිංසකත්වය, නිර්මාණශීලීත්වය අගයමින්, දරුවන්ගේ දියුණුවට අතදෙමින්, නිවැරදි මඟ පෙන්වමින් යහපත් හෙට දවසක් කරා ඔවුන් රැගෙන යන්නට මෙවර ලෝක ළමා දිනය පන්නරයක් වේවායි ඉත සිතින් සුබ පතමි.

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය

--------------------------------------------------------------------------------------------------

දරුවන් හා වැඩිහිටියන් අතර පරස්පරයක් පවතිනවා - අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර

සංකීර්ණ සමාජ රටාව තුළ දරුවෝ අපේක්ෂා කරන සෙනෙහස ආරක්ෂාව වැඩිහිටි පරපුර තුළින් ගිලිහී යාම නිසා දරුවන් හා වැඩිහිටියන් අතර විශාල පරස්පරයක් ගොඩනැඟෙමින් පවතින බවත් එය සමාජ පැවැත්ම සඳහා විශාල බාධකයක් බවත් ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සඳහන් කරයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කරන්නේ 2017 ලෝක ළමා දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

 අමාත්‍යවරිය විසින් නිකුත් කළ සම්පූර්ණ සුභපැතුම් පණිවුඩය,

අද (01) ට යෙදී තිබෙන ලෝක ළමා දිනය පිළිබඳව ප්‍රථමයෙන්ම මගේ උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. එමෙන්ම ලෝක ළමා දිනය අනුස්මරණය කරමින් ඒ පිළිබඳ ජාතික උත්සවයක් සංවිධානය කිරීමට කටයුතු කළ සංවිධායක මණ්ඩලයට ද මගේ කෘතඥතාව පිළිගන්වමි.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව වශයෙන් යොදා ගෙන තිබෙන '' මා පිය වැඩිහිටි සෙනෙහස රඳවමු - සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු '' යන්නයි. රට දැය සතුව තිබෙන අගනාම සම්පත වූ කළි අපගේ දරුවෝය. එම නිසා දරුවන් යනු මනාව සුරැකිය යුතු වටිනාම මානව සම්පතකි. රටක ජාතියක අනාගතය ගොඩනැගෙනුයේ මනාව කළමනාකරණය කරන ලද දරු සම්පත තුළින් බව මගේ විශ්වාසයයි.

වර්තමාන සංකීර්ණ සමාජ ධාරාව තුළ දරුවන් රැක බලා ගැනීමේදී මා පියන් ඇතුළු වැඩිහිටි සෙනෙහස ලබා දීම අතිශයින් වැදගත් වේ. නමුත් මෙම සංකීර්ණ සමාජ රටාව තුළ දරුවෝ අපේක්ෂා කරන සෙනෙහස ආරක්ෂාව වැඩිහිටි පරපුර තුළින් ගිලිහී යාම නිසා දරුවන් හා වැඩිහිටියන් අතර විශාල පරස්පරයක් ගොඩනැඟෙමින් පවතී. එය සමාජ පැවැත්ම සඳහා විශාල බාධකයක් බව මගේ හැඟීමයි.

දරුවන් හා වැඩිහිටියන් අතර ගොඩනැඟෙන එම දුරස්ථතාවය අවම කරගැනීමට නම් වැඩිහිටියන් විසින් විශාල කැපකිරීමක් කළ යුතුය. තම දෛනික කටයුතුවලදී සැළකිය යුතු කාලයක් දරුවන් වෙනුවෙන් කැප කිරීමේ අවශ්‍යතාවය පවතී. වර්තමානයේ බොහෝ දරුවෝ තම ඉලක්ක කරා ගමන් කිරිමේදී මවුපියන් සහ වැඩිහිටියන්ගෙන් ලැබිය යුතු එම අවධානය නිසි පරිදි නොලැබීම නිසා ඉලක්ක වෙතින් දුරස් වෙමින් පවතී. අපේ දරුවෝ අනාගතය ජය ගැනීමට නම් ඉළක්ක වෙත ළඟා විය යුතුය. එහි වැඩි බරක් දැරිය යුත්තෝ වැඩිහිටියෝ වෙති.

කෙසේ වුව ද මෙම පරතරය අවම කරගනිමින් සාර්ථක සහ අපේක්ෂාවන්ගෙන් පිරුණු දරු පරපුරක් බිහි කිරීමට සියලු වැඩිහිටියන් සේ කැප වීම අත්‍යවශ්‍ය බව මම ප්‍රකාශ කරමි. එමෙන්ම 2017 ලෝක ළමා දිනයට මගේ සුබ පැතුම් පිරිනමමි. 

චන්ද්‍රානි බණ්ඩාර 

ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.