තෙත් බිමේ පුරෝගාමියා

2022 දෙසැම්බර් මස 01 ප.ව. 07:37 - {{hitsCtrl.values.hits}}  

සතුන් හා මිනිසා අතර බැඳීම අතීතයේ සිට පැවතියද, අපි ඇතැම් සතුන්ගේ නම කියූ සැනින් දක්වන්නේ බියකි. කිඹුලාද එවැනි භීතිය දනවන සතෙකි. ඒ කිඹුලාට මිනිසුන්ව හසු වුවහොත් කා දමන නිසාය. නමුත් කිඹුලා කියන්නේ එතරම් බිය විය යුතු සතෙක්ද? නැතිනම් අනෙකුත් සතුන්ගෙන් ඌ සුවිශේෂී වන්නේ ඇයි? යන කාරණාවන් සේම, කිඹුලාගේ ජීවන පැතිකඩේ කරුණු කිහිපයක් පිළිබඳව, කිඹුලන් පිළිබඳ පර්යේෂණ අධ්යලයනයන් සිදුකරන වනජීවී නිලධාරී ප්‍රදීප් රත්නසිරි මහතාගෙන් අදහස් විමසීමක් කළෙමු.


කිඹුලන් යනු?

කිඹුලන් යනු උරග විශේෂයක්. මොවුන් අවුරුදු මිලියන 230ක් 260ත් අතර කාලයක සිට පරිණාමය වී පැවත එනවා. අප්‍රිකානු බිමේ සිට තමයි මොවුන් මෙලෙස පැමිණිලා තියෙන්නේ. විවිධ කාලයන්ගේ පැවති පරිසර තත්ත්වයන්ට අනුව මොවුන්ගේ හැඩය වෙනස් වීමක් සිදුවී ඇති අයුරු දැකගන්න පුළුවන්.

අඩි එක හමාරේ දෙකේ පරිණත සතුන්ගේ සිට අඩි 50ක පමණ සතුන් සිටි පොසිල හමු වෙනවා. අපි හඳුන්වන ඩයිනෝසර් වර්ගයේ සතුන් සමග සිටි සමකාලීන සතුන් විශේෂයක්. මොවුන් සතුව සුවිශේෂී අනුවර්තන හැකියාවන් පවතිනවා. විශේෂයෙන් ආහාර අඩු ප්‍රමාණයක් අරගෙන වුවත් මොවුන්ට ජීවත් වීමේ හැකියාව පැවතුණා.

ඒ නිසයි විවිධ කාලවලදී ඒ ඒ පරිසර තත්ත්වයන්ට අනුගතව තමන්ගේ පැවැත්ම අද දක්වා පැවතගෙන ඇවිත් තියෙන්නේ. අද අපිට දැකගන්න පුළුවන් අවුරුදු 65,000ක් එක්ලක්ෂ විසිදාහක් අතර කාලයේදී පරිණාමයකට ලක්වෙච්ච කිඹුලන්. ලංකාවේ හමුවන ආදිතම කිඹුල් විශේෂය crocodylussinhalesus. එම විශේෂය තමා දැනට ලංකාවේදි අපිට හමුවන කිඹුලන්ගේ ආදිතමයා. 

කිඹුලන් වැඩිපුරම සිටින තැන් 

ලංකාවේ දැනට කිඹුල් විශේෂ දෙකක් හමුවනවා. මෙම සතුන් අපිට හමුවන්නේ කරදිය, මිරිදිය, කිවුල්දිය කියන පරිසර පද්ධති තුළ. හැල කිඹුලන් ගත්තොත් ඔවුන්ගේ වාසස්ථාන බවට පත්වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් ස්වාභාවික ඇළදොළ. ගංගා ,විල්ලු පරිසර පද්ධති, වාරිමාර්ග, ඇළවේළි වගේම 14,000කට අධිකව පවතින වැව්වලින් සැලකිය යුතු ප්‍රමාණයක කිඹුලන් ගහනයක් ජීවත් වෙනවා.

කලපු තුළ, ගංගා මෝය ආරවල් ආදී සියලු පරිසර පද්ධති, තෙත් හා වියළි යන කලාප දෙකේමත් මොවුන් ජීවත් වෙනවා. නමුත් මධ්‍යම කඳුකරයේ ඉහළම කොටසේ කිඹුලන් හමුවන්නේ නැහැ. ගැට කිඹුලන් ගත්තොත් වැඩිපුරම ගංගා, මෝය, කලපු යන පරිසර පද්ධති තුළ දැකගන්න පුළුවන්. හේතුව වන්නේ එවායේ පවතින ගැඹුරු බව හා  ආහාරවල පවතින සුලබතාව. ඒ වගේම ගැට කිඹුලා වැඩිපුරම පිරිසුදු වතුරට ප්රිාය කිරීමත් මෙයට හේතුවක්.

 කිඹුල් විශේෂ හඳුනාගන්නේ කෙසේද?

මොවුන් සතුව විශේෂ වර්ණ රටාවක් තියෙනවා. හැල කිඹුලා ගත්තොත් ඌගේ ප්‍රධාන වර්ණ රටාව වෙන්නේ මඩ කොළපාටට හුරු වර්ණයක්. ඇතැම් අවස්ථාවලදී කළු පාටට හුරු පුල්ලි පිහිටනවා. ඒ පුල්ලිවල ඉවුර බොහෝ විට පැහැදිලි නෑ. ගැට කිඹුලා ගත්තොත්, එයාගේ ඇඟ සාමාන්‍යයෙන් කහ පාටට හුරු වර්ණයක් තුළ කළු පාටට හුරු වර්ණයක් ප්‍රමුඛ වෙනවා.

නමුත් වයසට යන විට වයස්ගත පිරිමි සතාගේ කළු පැහැය ප්‍රමුඛ වෙනවා. මෙහිදී පවතින විශේෂත්වය වන්නේ ගැට කිඹුලාගේ මේ කළු පාට තියෙන ලප පැහැදිලි සීමා වලින් වෙන් වීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් වයසට යන විට වලිගයේ සිට කළු වීගෙන ඇඟ දිහාවට ගමන් කිරීමක් තමා වෙන්නේ. ගැට කිඹුලාගේ හොම්බ ගත්තොත් ටිකක් උල් ස්වභාවයක් ගන්නවා.

හැල කිඹුලාගේ හොම්බ මොට ස්වභාවයක් ගන්නවා. දෙදෙනාගේම බඩ සුදු ස්වභාවයක් ගත්තත්, ගැට කිඹුලාගේ බඩ සුදු පැහැය සමග සම්මිශ්‍රණය වුණු කහ පැහැයක් ගන්නවා. හැල කිඹුලා සතුව විශේෂ අස්ථි කොරපොතු කහිපයක් බෙල්ලේ පිහිටනවා. මේකට සාමාන්‍යයෙන් අපි පොස්ට් ඔකියුපල් කියලා හඳුන්වනවා. මේ පොස්ට් ඔකියුපල් 4ක් හැල කිඹුලට තියෙනවා. නමුත් ගැට කිඹුලන්ගේ අපට ඒවා හමුවන්නේ නෑ.

කිඹුලන්ට අපි ඇත්තටම බිය විය යුතුද?

කිඹුලන්ට බිය විය යුතුද කියන දෙය ඇත්තටම ප්‍රශ්නයක්. මම දකින විදිහට නම් එතරම් බිය විය යුතු නෑ. අපේ සමාජයේ තියෙන ගැටලුවක් තමයි පරිසරයේ ජීවත් වන විවිධ ශාක හා සතුන් පිළිබඳව තියෙන තොරතුරු නිසි ලෙස සමාජය වෙත සම්ප්‍රේශණය වීමක් සිදු නොවීම. මේ සඳහා ආයතන විදිහටත්, පුද්ගලයන් විදිහටත් සමාජයේ වගකීමක් පැහැර හැරි තත්ත්වයක් තියෙනවා කියල තමා මට හිතෙන්නේ.

මොකද වෙන රටක කෙනෙක් පාර්ක් එකකට හරි වෙන තැනකට හරි යන්න ආවොත් ඒ පාර්ක් එක පිළිබඳව හොඳ විස්තරයක් හොයාගෙනයි එන්නේ. ඒ නිසා මඟපෙන්වන්නන් හට බොරු හා ව්‍යාජ තොරතුරු කියන්න විදිහක් නෑ. එම දැනුම ඔවුන් අන්තර්ජාලයෙන් හෝ වෙනත් ක්රීම මගින් අරගෙන තියෙනවා. නමුත් ලංකාවේ බොහෝමයක් අයට මේ සතුන් හා ඔවුන්ගේ පරිසර පද්ධති පිළිබඳව පවතින දැනුම හරිම අඩුයි.

කිඹුලන්ගේ පරිසරය භාවිතය හා කිඹුලන් පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා නම් අපි බිය විය යුතු නැහැ. උදාහරණයක් ගත්තොත් පසුගිය කාලයේදී මේ නිල්වලා ගඟේ කිඹුලන් හා මිනිසුන් අතර ගැටුමක් තදින්ම පැවතුණා. ඒකෙදි අපි ඒ සම්බන්ධයෙන් සමාජය දැනුම්වත් කිරීමට පියවර ගත්තා. ඒත් එක්කම විවිධ පරිසර සංවිධාන සමග එක්වෙලා නිල්වලා ගඟේ ගැටුම නිරීක්ෂණය කිරීමකට ලක් කළා.

එහි ප්‍රතිඵලයක් විදිහට අපිට පුළුවන් වුණා නිල්වලා ගඟේ සිටින මිනිසුන් හා කිඹුලන් අතර ගැටුම යම් ප්‍රමාණයකින් අවම කරන්න. මෙයට හේතු වුණේ කිඹුලන්ගේ ආහාර තිබුණ තැන් හා ඔවුන්ගේ ලැඟුම් පොළවල්  පිළිබඳව මිනිසුන්ට දැනුමක් තිබුණත්, ඔවුන් ඒ පිළිබඳව එතරම් සැලකිලිමත් නොවීමයි. මේ නිසා කිඹුලන්ට බිය විය යුතුද යන කාරණයේදී කියන්න තියෙන දේ තමයි මේ දැනුම සමාජයට සම්ප්‍රේෂණය විය යුතුයි. කිඹුලන්ගේ හැසිරීම් රටාව පිළිබඳව අප නිවැරදිව දැන ගත යුතුයි. එහෙම එයාලගේ හැසිරීම් රටාවන්ට බාධා වෙන විදිහට අපි කටයුතු නොකළාම එයාලගෙන් අපිට වන බලපෑම ඉතාම අඩුයි. 

කිඹුලන් හා මිනිසුන් අතර ගැටුම

මට කියන්න පුළුවන් මේ ගැටුම මිනිසා විසින් හදාගත් දෙයක් කියලා. අපි දන්න දෙයක් තමයි මේ අලි - මිනිස් ගැටුමත් මිනිසුන් විසින්ම හදාගත් දෙයක්. මේ සතුන්ගේ වාසස්ථාන විධිමත්ව භාවිත කිරීම හා තිරසාර ලෙස යොදා නොගැනීම නිසයි මෙම ගැටුම් නිර්මාණය වෙන්නේ. අලින් ගත්තොත් ඔවුන්ටත් සිදු වුණ් මෙවැනිම දෙයක්. උදාහරණයක් ගත්තොත් කැලණි ගගේ කිඹුලන් ප්රලමාණයක් ඉන්නවා.

අපි ගත්තොත් එක් එක් ආයතනයන්ට පැවරුණු යම් රාජකාරි ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ගංගාධාර වනාන්තර ආරක්ෂා කිරීමට යම් ආයතනයකට වගකීමක් තියෙනවා. ලංකාවේ තිබෙන ගංගා පද්ධති ආරක්ෂා කිරීමේ වගකීම ඔවුන්ට පැවරිලා තියෙනවා. නමුත් අපිට දැන් කිසිම තැනක ගංගාධාර වනාන්තර කියන දෙයක් දැකගන්න පුළුවන්ද? උදාහරණයක් විදිහට කැලණි ගඟේ, නිල්වලා ගඟේ, බෙන්තර ගඟේ මේ කිසි තැනක නැහැනේ අපිට බලන්නවත් මේ ගංගාධාර වනාන්තර කියන දේ. ඒකෙ ප්රමතිඵලයක් විදිහට මිනිසුන් ගඟ ඇතුළටම තමන්ගේ නිවාස ඇදගෙන ගිහින් තියෙනවා.

මේ නිසා එක් කරුණක් විදිහට මෙයාලගේ පරිසර පද්ධතියට ලොකු හානියක් වෙලා තියෙනවා. කිඹුල්ලු මාංස භක්ෂක සත්ත්ව කොට්ඨාසයක්නේ. මොවුන්ගේ ආහාර පරාසය විශාලයි. මේ නිසා පොඩි කාලේ කුරුමිණියාගේ ඉඳලා ලොකුවට වර්ධනය වුණාම විශාල ක්ෂිරපායී සතුන් පවා ගොදුරු බවට පත්කර ගන්නවා. මොවුන්ගේ ආහාර සැකැස්ම ගැන කතා කළොත් කෘමිසතුන්, ඉස්සෝ, පොකුරිස්සෝ, ගොළුබෙල්ලෝ, මාළු, උරගයෝ, මිරිදිය හා කරදිය කකුළුවන්, ක්ෂිරපායී සතුන්ද ඇතුළත් වෙනවා. ඉතින් මිනිසාද ක්ෂිරපායී සතෙක් නිසා මොවුන්ගේ ගොදුරු බවට පත්වෙනවා.

තවත් කාරණයක් විදිහට කෘෂි රසායනයන් අධි සාන්ද්‍රණයෙන් යුතුව භාවිත කිරීමත් මෙයට හේතුවක් ලෙස සඳහන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට විවිධ රාසායනික ද්‍රව්‍ය  අඩංගු තෙල් හා පොහොර මිනිසුන් අධිකව භාවිත කළා. ඒවා ගංගාවලට, වැව්වලට ඇවිත් තැන්පත් වීමක් සිද්ධ වුණා. එතකොට මේවා මත්ස්ය  ගහනයට සෘජුවම බලපෑවා. මත්ස්යි බිත්තරවලින් පිටවන මසුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ යෑමක් සිදු වුණා. ඒ එක්කම ගංගාවල අවිධිමත් බෝට්ටු ධාවනය හා වැලි ගොඩ දැමීම යනාදියත් මේ කිඹුලන් හා මිනිසුන් අතර ගැටුම් ඉහළ යාමට හේතු වුණා. 

කිඹුලන් සතුව පවතින සුවිශේෂී  අනුවර්තන හැකියාවන්

කිඹුලන් සතුව සුවිශේෂී අනුවර්තන හැකියාවන් කිහිපයක් පවතිනවා. ඉන් ප්‍රධානතම දෙයක් තමයි උෂ්ණත්ව විචලනයන්ට ඔවුන් දක්වන ප්‍රතිචාරය. වැඩි වන උෂ්ණත්වයෙන් බේරීම සඳහාත්, අඩු වන උෂ්ණත්වයෙන් බේරීම සඳහාත් ඔවුන් ගුහාවන් හාරාගෙන ජීවත් වෙනවා. ආහාර හිඟ කාලවලදී පවා ශක්තිය සංරක්ෂණය කරමින් ජීවත් වීමේ හැකියාව මොවුන් සතුයි.

ඇත්තටම කිඹුලන් වඩාත් වැඩි ඥාති සම්බන්ධයක් දක්වන්නේ ක්ෂිරපායීන්ටද? නැතිනම් උරගයන්ටද යන්න විසඳාගත යුතු ප්‍රශ්ණයක්. මේ සතුන් පිළිබඳ අධ්‍යනයේදී යන දෙයක් තමා ක්ෂිරපායීන්ට සුවිශේෂී වූ බාහිර කන් පෙති මොවුන්ට පිහිටා තිබීම. එපමණක් නෙවෙයි උරගයන්ට දක්නට නොලැබෙන, කිඹුලන්ගේ හෘදය වස්තුව කුටීර 4කින් නිර්මාණය වි තියෙනවා. එසේම විද්‍යාඥයින් විසින් සොයා ගත් දෙයක් තමා මේ කුටීර 4 අසම්පූර්ණ (un complete)බව. ඒ කියන්නේ සියයට සියයක්ම කුටීර හතර බෙදිලා අවසන් වීමක් සිද්ධ වෙලා නැහැ. 

මොවුන්ගේ මෙම සුවිශේෂත්වය හේතුවෙන් මෙම සතුන්ට ඉක්මනින් උෂ්ණත්වය යාමනය කිරීමට පහසු වෙනවා. උරගයන්ගේ තියෙන්නේ කුටීර 3යි. මොවුන්ගේ මේ සුවිශේෂීතාව හේතුවෙන් මොවුන් හෙවණකට ගියොත් ඉක්මනින්ම උෂ්ණත්වය අඩු වීමක් වෙනවා. වතුරකට ගියත් මේ ආකාරයට සිද්ධ වෙනවා. වතුරෙන් උඩට ආව ගමන් ඒ තත්ත්වය යළිත් වෙනස් වීමකට ලක් වෙනවා.

ඒ නිසා වෙනත් සතුන්ට නැති සුවිශේෂී අනුවර්තන හැකියාවන් මොවුන්ට තියෙනවා. මේ සඳහා ඇඟ උඩ තිබෙන කොරපොතුත් උපකාරී වෙනවා. ඒ වගේම දිවත් මේ ශරීර උෂ්ණත්වය පාලනයට විශාල උපකාරයක් කරනවා. මොවුන්ගේ දිව ඇතුළේ විශේෂ ලවණ ග්‍රන්ථීන් පිහිටා තිබීමද දැකගන්න පුළුවන්. එසේම ඉක්මනින්ම කම්පන හඳුනා ගැනීමටත් හැකියාවක් මොවුන් සතුව පවතිනවා. කණට සියුම් ශබ්දයක් පැමිණියහොත් ඉක්මනින්ම හඳුනා ගැනීමේ හැකියාව මොවුන්ට පවතිනවා. 

ඇයි කිඹුලන් දරුණු වෙන්නේ?

කිඹුලන් දරුණු වීමට කාරණා කිහිපයක් බලපානවා. වාසස්ථාන අහිමි වීම හෝ විනාශ වීමත් එක් ආකාරයකින් බලපානවා. නමුත් ප්‍රධානතම සාධකය ආහාර හිඟ වීමයි. මේ ආහාර හිඟ වීම ඇති කරන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා. ඒ ගැන මුලින්ම සඳහන් කිරීමක් කළා. ඉතින් ආහාර හිඟ වුණාම මෙම සතුන් කරන්නේ ජලජ පරිසරයෙන් ඉවත් වී වෙනත් ගොදුරු සොයා ගොඩ බිම වෙත සැරිසැරීමයි.

මේ අවස්ථාවේදී ඔවුන්ට හමුවන සියලුම ජීවීන් ගොදුරක් ලෙස දකිනවා. එය ලොව සිටින විශාලම මාංස භක්ෂක උරගයාට සුවිශේෂී දෙයක් නෙවෙයි. ඒ වගේම තමන්ගේ වාසස්ථාන අහිමි වීමෙන් බොහෝසෙයින් ආතතියට පත්වීම තුළින්ද මොවුන් දරුණු වෙනවා. ඒ වගේම අපේ රටේ බොහෝ මසුන් මරණ තැන්වල ඉතුරු වන මස්වල කොටස් ගොඩ බිම දාන්න බැරි නිසා ගංගා, මුහුදුවලට ගෙනැවිත් දමනවා.

මේවා කෑමට මොවුන් ප්‍රියකරනවා. යම් හෙයකින් මේවා සුපුරුදු ලෙස ගෙනැවිත් දමන්නට බැරි වුණොත් ඔවුන් ගොඩ බිමට පැමිණ ගොඩ බිමේ ඔහුට පෙනෙන මිනිස්සු, බල්ලන් වැනි ඕනෑම කෙනෙකු ගිල දැමීමට උත්සාහ කරනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයන්ගෙන් බේරීමට නම් සමාජයේ සියලුම ප්‍රජාවන් මේ සඳහා එක් විය යුතුයි. සමාජ සංවිධාන, විවිධ පරිසර සංවිධාන එක්ව ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගත යුතුයි.

(විශේෂ ස්තුතිය- අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව)


උපදෙස්  හා ඡායාරූප වනජීවී නිලධාරී ප්‍රදීප් රත්නසිරි මහතා

දින පොත