සිරිමාවෝ මැතිනියටත් යූරී ගගාරිටත් ආරක්ෂාව සැපයූ බාලදක්ෂයා

2022 දෙසැම්බර් මස 01 ප.ව. 07:54 - {{hitsCtrl.values.hits}}  

සෑම වසරකම පෙබරවාරි 22 දින ලෝක බාලදක්ෂ දිනය ලෙස නම් කරන්නේ, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවෙල් මහතාගේ උපන් දිනය පෙබරවාරි මස 22 (1857/02/22) දාට  යෙදී  තිබීම  නිසාය.  එම දිනය  වෙනුවෙන්  මෙලෙස  අතීත  මතක දිගහරිනුයේ (බොරැල්ල) 29  කොළඹ  කණ්ඩායමේ බාලදක්ෂයෙකු ලෙස කටයුතු කළ වර්තමානයේ අසූපස් වියේ පසුවන පියසේන වල්පොළ මහතායි.බාලදක්ෂ ව්‍යාපාරයට සාමාන්‍යයෙන් සාමාජිකයන් ලෙස බැඳෙන්නේ පාසල් වියේ පසුවන ළමයින්ය. නමුත් දහ නව හැවිරිදි වියේදී පියසේන මහතා බාලදක්ෂ ව්‍යාපාරයට බැඳෙන්නේ බන්ධනාගාරගතව සිටියදීය.


"රටේ දෙමළ කෝලහල පැවැති කාලයේ සිදුවූ සිදුවීමක් නිසා මාත්, මගේ සහෝදරයාත් ඇතුළු කිහිපදෙනෙක්ට සිරගත වෙන්න සිදුවුණ. 1958දී මිනීමැරුමක් පිළිබඳ බොරු චෝදනාවකට, තිස්අට දෙනෙක්ට චෝදනා ගොනු කරලා තිබුණත්, නවදෙනෙක්ට මරණීය දණ්ඩනය නියම කළා. අපිට එරෙහිව බොරු සාක්ෂි ලබාදීමක් තිබුණ නිසා අපි හිටියේ තරහෙන්. නිදහසට කාරණා ඇහුවම අපි තරහෙන් නිසා කියන්න දෙයක් නෑ කිව්වා.  

ඒ කාලයේ මම බාල වයස්කාරයෙක් නිසා මාව බාලදක්ෂ ව්‍යාපාරයට බඳවා ගත්තා. ඒ 1960 අවුරුද්දේ. අපිව බාලදක්ෂ ව්‍යාපාරයට බඳවා ගැනීම වෙනුවෙන් බන්ධනාගාරයේ උත්සවයක් පැවැත්තුවා. එයට එවක බාලදක්ෂ කොමසාරිස් ඊ.ඩබ්ලිව්. කන්නංගර මහතාත්, වී.ඒ. සුගතපාල නගරාධිපතිවරයාත් සහභාගි වුණා මතකයි.  එෆ්.ජී. ස්ටීවන් ඒ කියන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ දෙවැනියා ලෙස කටයුතු කරපු මහත්මයාත් ඒ කාලේ වරින් වර ලංකාවට ආවා.” බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳ සිය අතීත මතක ආවර්ජනය කරමින් ඒ මහතා ප්‍රවේශය ගත්තේ එලෙසිනි.

බන්ධනාගාර බාලදක්ෂයෙකු ලෙස ඔහුට රටේ වැදගත් උත්සව රැසකට සහභාගි වන්නට අවස්ථාව ලැබී ඇත. ඒ පිළිබඳව ඔහුට ඇත්තේ ආඩම්බර මතකයකි.

"බන්ධනාගාර බාලදක්ෂයන් විදිහට අපිට රජයේ ආයතනවල විවිධ වැඩසටහන්වලට යන්න සිදුවුණා. බෙඩ්න් පවෙල් සාමිවරයාට පසු බාලදක්ෂ ව්‍යාපාරයේ නායකයා ලෙස කටයුතු කළ චාර්ල්ස් මැකලම් මහතා ලංකාවට පැමිණි වෙලාවේ උත්සවය තිබුණේ බුලර්ස් පටුමගේ. එම උත්සවයට අපි ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් ලෙසයි සහභාගි වුණේ. 

මැකලම් මහතා අතට අත දෙන ජායාරූපය ගන්නට තිබුණේ වෙනත් කෙනෙක්ගේ. නමුත් එතුමා හරි වේගවත් නිසා ජායාරූපය වැදී තිබුණේ මට අතට අත දෙන විටයි. ඉතින් පත්තරවල පළ වුණේ මගේ ඡායාරූපයක්. හැමෝම කිව්වා මම හරි ලකී කියලා.

බන්ධනාගාර බාලදක්ෂයන් විදිහට අපිව තමයි විවිධ උත්සවවලදී ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවන්නේ. මේ නිසා මට ලංකාවේ වගේම වෙනත් රටවල නායකයන් හා ප්‍රභූන්ගේ ආරක්ෂකයෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ලංකාවට යූරි ගගාරින් පැමිණි අවස්ථාව හා සිංගප්පූරුවේ එවක අගමැතිවරයාගේ පැමිණීම ඉන් සුවිශේෂයි. ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරක්ෂාවටත් අපිව යෙදෙව්වා. ඒ කාලේ ආත්ම ආරක්ෂක නිලධාරීන් හිටියෙ නැහැ.

රටේ විශ්වාස කරන්න පුළුවන් පිරිසකට හිටියේ බන්ධනාගාර බාලදක්ෂයන්. මොකද කියනවා නම් පිටස්තර සමාජයත් එක්ක අපිට සම්බන්ධතා තිබුණෙ නැහැ. ඒ නිසා ප්‍රභූන් යන එන තැන් පිළිබඳව පිටතට ආරංචි නොවන නිසා අපිව තමයි ආරක්ෂාවට යෙදෙව්වේ.

සිරිමාවෝ මැතිනිය අපිට අම්මා කෙනෙක් විදිහට සැලකුවා. බණ්ඩාරනායක සමාධියේ සමරු තියනකොට අපි තමයි ආරක්ෂකයන් විදිහට සහභාගි වුණේ. ඒ කටයුතු ඉවර වුණාම අපිව වලව්වට එක්ක ගිහින්, අපිත් එක්ක සුහදව කතාබහ කරලා, කෑම බීම පවා ලබාදෙනවා”

හැටේ දශකයේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වූ ඔහු බාලදක්ෂ කඳවුරු 15කට අධික සංඛ්‍යාවකට සහභාගි වී ඇත. එම කඳවුරුවලට ලංකාවේ පමණක් නොව, විදෙස් බාලදක්ෂයන් පවා සහභාගි වී ඇත. බන්ධනාගාර බාලදක්ෂයන් යැයි කියා වෙනසක් නොදක්වා, ඔවුන්ට අනෙකුත් බාලදක්ෂයන් මෙන් සමානව සැලකීම් ලැබුණු බවද ඒ මහතා අප සමග පැවසුවේය.

"විවිධ කටයුතු සඳහා සහභාගි කරන බාලදක්ෂයන් 16ක් බන්ධනාගාරයේ හිටියා. මම බාලදක්ෂ ජම්බෝරි 15කට සහභාගි වෙලා තිබෙනවා. අපිව ජම්බෝරිවලට සහභාගි කරන්න බන්ධනාගාර වාහනයකින් ගිහින් දානවා. නැවත ඉවර වෙන දවසට අපිව එක්කන් යන්න එනවා. කොළඹ අවට නම් නිලධාරියෙකු සමග අපිව පයින් යවනවා.

බාලදක්ෂ කඳවුරක් කරන්න ගියාම  මුලින්ම කරන්නේ එතන ශ්‍රමදානයක් කරලා ශුද්ධ පවිත්‍ර කරන එක. ඊට පස්සේ එතන පිවිසුම් තොරණක් සකස් කර ගන්නවා. මේ තොරණ හරි විශේෂයි. මම තමයි තොරන්වල විදුලි බුබුළු සවි කරන්නේ. වරක් මීගමුවේ පැවැත්වූ කඳවුරක හදපු තොරණේ උඩින් නෙළුම් මලක් හැදුවා. නමුත් ඒකෙ පිංගල් එකක් ඕෆ් වෙලා නෙළුම් මල වෙනුවට කුරුසයක් හැඩේටයි ලයිට් පත්තුවෙලා තිබුණේ. 

ඉතින් අපේ කොමසාරිස්වරයෙක් මගෙන් මොකද මේ කියලා ඇහුවා. වෙන කරන්න දෙයක් නැති නිසා මීගමුව නිසයි කුරුසයක් දැම්මෙ කියලා කිව්වා. පසුව මම වයර් ටික සම්බන්ධ කරලා හරිගස්සලා ආවා. කෑම්ප් ෆයර් එකට අපි ඉංග්‍රීසි හා සිංහල සින්දු කියනවා.

අපි බන්ධනාගාරයේ සිටි අය නිසා බාලදක්ෂ ඉතිහාස තොරතුරු ලබා ගත්තේ අපිට බාලදක්ෂ උගන්වන්න ආපු කොමසාරිස්වරුන්ගේ පාඨමාලාවේදී. අනිත් සියලු විස්තර අපි අපේ අත්දැකීම් වලින් තමයි ලිව්වේ. ආරි කියලා යාළුවෙක් හිටියා. ඔහු හරි දක්ෂයි. ඔහු තමයි අපේ ලොග් සටහන්වල ලස්සනට චිත්‍ර ඇඳලා දෙන්නේ. මම අපේ බාලදක්ෂ කණ්ඩායමේ නායකයා ලෙසත් පත්වුණා.

ඒ වගේම බන්ධනාගාරයේ ඉද්දී මම බර පංති 107 යටතේ බොක්සිං ගැහුවා. ලුවිස් හා මම බොක්සිං තරගෙකට විදෙස්ගත වෙන්න තේරුණා. නමුත් අවසානයේ වෙනත් කෙනෙක් මේ තරගයට යැව්වා. ඔහු තරගයෙන් පරාද වෙලා ආවා. ඉස්සර අපි බොක්සිං ගහනකොට අනුර බණ්ඩාරනායක මහත්තයත් එනවා තරග බලන්න.

අපි වරක් ජ්‍යෙෂ්ඨ බාදලක්ෂයන් සමග නැව්වල චාරිකාවක යෙදුණා. අපි නැවට නැග්ගාම භාජනය බැගින් ලබා දුන්නා. අපිට හැමෝම මූණට මූණ බලාගෙන කතා වුණා මොකටද මේ භාජනයක් කියලා. ටිකක් දුර යද්දි තමයි තේරුණේ නැව්වල යද්දි ඇතිවන කැරකිල්ල නිසා වමනෙ දාන්න තමයි මේ භාජනය දීල තියෙන්නේ කියලා.

අපි හයික් යනකොට බොරැල්ලේ ඉඳන් පිටත් වුණාම අපේ කට්ටියගේ ගෙවල් මගදි හම්බෙනවා නම් ඒවායෙන් තමයි කන්නේ. අපි හයික් යන්න කලින් ලියුම් ලියලා ගෙවල්වලට යවනවා මෙන්න මේ දවසේ අපි ගෙවල් ළඟින් යනවා කියලා. එහෙම යන මග අපේ ගෙවල්වලින් දවල්ට කාල තමයි යන්නේ. රෑ වෙද්දී අපි ඉස්කෝලයක හරි පන්සලක හරි නතර වෙනවා. අපි යන ගමනේ මාර්ග සටහන සලකුණු කරගෙනයි යන්නේ. අපි හැමෝටම පොඩි මාලිමාවක් තිබෙනවා. ඒකෙන් දිශාව බලාගෙන ගමනාන්තයට යනවා.”

බාලදක්ෂයෙකු වුවත්, බන්ධනාගාර බාලදක්ෂයෙක් වීම නිසාම ඔහුගේ අත්දැකීම් අනෙක් බාලදක්ෂයන්ට වඩා වෙනස්ය. විශේෂයෙන් බාලදක්ෂයන් ලෙස ඔවුන්ට බන්ධනාගාරය තුළද යම් යම් රාජකාරි පැවරීම හේතුවෙනි.

"සිරගෙදර ඉද්දි රටේ ආන්දෝලනාත්මක අපරාධ කරලා සිරගත වුණ අයව දකින්න ලැබුණා. ඉන් එක් අයෙක් තමයි මරදන්කඩවල යකඩයා. ඒ වගේම එල්ලා මරන්න නියම කළ අයට මරණ දණ්ඩනය දෙන විට එල්ලුම් ගහේ හතර පැත්තේ මුර කරන්නත් බන්ධනාගාර බාලදක්ෂයන් තමයි යොදා ගත්තේ. මේ රාජකාරී කටයුතු අතර සුවිශේෂී මතකයක් තිබෙනවා. ඒ තමයි බණ්ඩාරනායක මහතාගේ ඝාතන සිද්ධියට සෝමාරාම කියන කෙනාට මරණද ණ්ඩනය දුන්අවස්ථාව.

බන්ධනාගාර බාලදක්ෂයන් වන අපිවයි සෝමාරාම එල්ලා මරණ අවස්ථාවේ එල්ලුම්ගස අවට ආරක්ෂාවට තිබ්බේ. මේ වගේ මතක බොහෝමයක් බන්ධනාගාර බාලදක්ෂයෙක් විදිහට අපිට තිබෙනවා. පසුව මරණ දණ්ඩන තීන්දුව අහෝසි කරලා අපිව නිදහස් කළා. දැන් මගේ මේ බාලදක්ෂ අතීත මතක සංරක්ෂණය කර ගෙන තියාගෙන ඉන්නේ මගේ පොඩි දුව. බන්ධනාගාරයේ ගත කළත්, බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වීම නිසා ජීවිතේ බොහෝ අත්දැකීම් ලබන්න මට හැකි වුණා.”

පොළොන්නරුව දිය බෙදුමේ පිහිටි සිය නිවසේ සැඳෑ සුවය විඳිමින් සිටින පියසේන මහතාට දීර්ඝායුෂ පතමින් අපි සමුදුන්නේ ඔහු දිගහැරි අතීත මතක පොත මදකට වසා දමමිනි.

දින පොත