තිවංක පිළිමගෙය

2024 අප්‍රේල් මස 19 ප.ව. 02:00 - {{hitsCtrl.values.hits}}  

පොලොන්නරැ දළදා මළුවෙහි දැකිය හැකි සුවිශේෂ වූ සුවිසල් මන්දිරයක් ලෙස තිවංක පිළිමගෙය හැඳින්විය හැකිය. පිළිමගෙයි ඇති ත්‍රිභංග (ශරීරයේ තුන් තැනකින් නැමුණු) ඉරියව්වෙන් යුත් සුවිසල් බුද්ධ ප්‍රතිමාවක් නිසා මෙම පිළිමගෙය තිවංක පිළිමගෙය ලෙස නම් කොට ඇත. පෙලොන්නරැවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයකි. රජු මෙය කරවා ශාරිපුත්‍ර නම් ස්ථවිර කෙනෙකුට පූජා කළ බව චූලවංශයේ සඳහන් වෙයි. 
ගඩොල් නිර්මාණයක්
පොලොන්නරැ ථූපාරාමය, ලංකාතිලකය මෙන්ම තිවංක ප්‍රතිමාඝරයද මුළුමනින්ම ගඩොලින් තැනූවකි. වහලද ගඩොලින්ම තනා ඇත. ඉහළට විහිදෙන ගඩොල් බිත්ති  ක්‍රමයෙන් වක්‍රාකාර ව දෙපස බිත්ති හා සම්බන්ධ කිරීමෙන් වහල නිර්මාණය කර ඇත. මෙය අඹරා වහල ලෙස හැඳින්වේ. මේ ක්‍රමයේ වහල සහිත ගොඩනැගිලි ගිංජිකාවසත නමින් හැඳින්වූ බව සෙනරත් පරණවිතාන සූරීහු පවසති. අද වන විට මෙහි වහල විනාශ වී ඇත. ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට හසු වීම නිසා මෙම ප්‍රතිමාඝරය මෙන්ම ප්‍රතිමාවද බොහෝ සෙයින් විනාශයට ලක් වී ඇත.එබැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිමගෙයට තාවකාලික පියස්සක් යොදා ආරක්ෂාව සපයා ඇත.
හින්දු ගෘහ නිර්මාණ ශෛලිය
හින්දු ගෘහ නිර්මාණ ශෛලියට අනුව නිම වී ඇති මෙම පිළිමගෙය කොටස් තුනකින් යුක්තය. එනම්, 
මණ්ඩපය 
අන්තරාලය
ගර්භ ගෘහය වශයෙනි.
බිත්තිවලින් පිටතට පැන්නූ කුලුනු වල ඇති විමානයන්හි දේව රෑප කැටයම් කොට ඇත. ඒවා අර්ධ උන්නත ශීල්පීය ක්‍රමයට අනුව නිම කොට ඇත. දෙව් බඹුන් විමාන සහිතව බුදුන් වෙත පැමිණි බව ඉන් අදහස් කරයි. පාදමේ නෙළුම් මල්, කුමුදු මල්, සිංහ රෑ, වාමන රෑ හා හංස පේළි දක්නට ලැබේ.

කලාගාරයක්
ප්‍රතිමාඝරයක් වුවද මෙය වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ කලාගාරයක් වශයෙනි. පොලොන්නරැවෙන් කලාත්මක අතින් ඉහළම සිතුවම් හමුවන්නේ මෙම පිළිමගෙයින් බව විචාරකයින්ගේ මතයයි. හුණු පිරියම් කළ බිත්ති මත සිතුවම් ඇඳ ඇත. යුග දෙකකට අයත් සිතුවම් මෙහිදී හමු වේ. එනම් පොලොන්නරැ යුගයේ හා ඉන් පසු කාලෙක නිම වූ සිතුවම්ය. මණ්ඩප කොටසට අයත් ගොඩනැගිල්ලේ ඉදිරි බිත්ති ජාතක කථාවලින් අලංකාර කර ඇත. 
දේවාරාධනයෙන්
අන්තරාලය තුළ දේවාරාධනාව හා සංකස්ස හිණිමං දර්ශනය සිතුවමට නගා ඇත. තුසිත දෙව්ලොව වසන බෝධිසත්වයන්ට මනුලොව උපත ලබන ලෙස කරන දෙවියන් ආරාධනය දේවාරාධනයෙන් නිරෑපණය වේ. බුදු හිමියන් තවුතිසා දෙව්ලොව වැඩම කර මාතෘ දිව්‍ය රාජයාට දහම් දෙසා දෙවියන් විසින් මවන ලද රන් හිණිමඟකින් සංකස්සපුරයට ආපසු වඩිනා අයුරැ සංකස්ස හිණිමන් දර්ශනය සිතුවමින් පෙන්වයි. සංයමයෙන් යොදන ලද රේඛාව චිත්‍රයට ජීවය එක් කර ඇත. වර්ණ ප්‍රභේද භාවිතයෙන් ත්‍රිමාණ ලක්ෂණ පෙන්වයි. 

දින පොත