පිට සක්වලින් එන අමුත්තා
- 2025-07-22 11:46:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපගේ නිවහන පෘථිවියයි. පෘථිවිය අයත් ග්‍රහ මණ්ඩලය හැඳින්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය යනුවෙනි. සෞරග්‍රහ මණ්ඩලය, ග්‍රහලෝක අටකින් සමන්විතය. කුරු ග්‍රහයන් සහ චන්ද්‍රයන්ගෙන් සමන්විතය. ග්‍රහක ඇතුළු තවත් අභ්‍යවකාශ වස්තූන්ගෙන් සමන්විතය. සෞරග්‍රහ මණ්ඩලය අවසන් වන සීමාව ගැන තාරකා විද්‍යාඥයන් තුළ අවබෝධයක් ඇත. සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති කලාපය අන්තර් තාරකා අවකාශය (Interstellar Space) ලෙස ඔවුහු හඳුන්වති.
3I/ATLAS
මේ වනවිට, අන්තර් තාරකා අවකාශයේ සිට, අබිරහස් ආකාශ වස්තුවක්, අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී ඇති අතර, එය සෞරග්‍රහ මණ්ඩලය හරහා හිරු දෙසට වේගයෙන් ගමන් කරයි. මෙම වස්තුව රූගත කිරීමටත්, ඡායාරූපයට නැගීමටත්, තාරකා විද්‍යාඥයන්ට හැකි වී ඇත. මෙම වස්තුව, පළමු වරට විද්‍යාඥයන්ට දකින්න ලැබුණේ පසුගිය ජූලි 1 වැනිදාය. විද්‍යාඥයන් මේ අමුත්තා, නිල වශයෙන් නම් කර ඇත්තේ, 3I/ATLAS යනුවෙනි. මේ වස්තුව, ඇති දැවැන්තය. විෂ්කම්භය කිලෝමීටර් 20 කි. ඔබ මේ ලිපිය කියවද්දී, මේ අතිදැවැන්ත වස්තුව, පැයට සැතපුම් 135,000 ක වේගයකින් සූර්යයා දෙසට ගමන් කරමින් සිටී. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) විද්‍යාඥයන්, 3I/ATLAS නමැති මෙම වස්තුව රූගත කර ඇත්තේ, නාසා අනුග්‍රහය ලබන, හවායි දූපත් ආශ්‍රිතව පිහිටුවා ඇති ප්‍රබල දුරේක්ෂ ආධාරවෙනි.
දීප්තිමත් වස්තුව
අතිදැවැන්ත 3I/ATLAS අතිශයින් දීප්තිමත්ය. එයින් අදහස් වන්නේ එය වෙනත් අන්තර් තාරකා වස්තුවකට වඩා බොහෝ ගුණයකින් විශාල බව යැයි විද්‍යාඥයන්ගේ අදහසය. විද්‍යාඥයන් බොහෝ දෙනකු මේ වනවිට අනුමාන කර ඇත්තේ, මෙම දීප්තියට හේතුව 3I/ATLAS සක්‍රීය ධූමකේතුවක් එසේත් නැතිනම් වල්ගා තරුවක් නිසා බවය. 3I/ATLAS කෙටි වල්ගයක් ඇති බව අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත. ධූමකේතුවක් එසේත් නැතිනම් වල්ගාතරුවක් සූර්යයාට ළං වන විට, එහි ඝන අයිස් සහිත හරය (nucleus) රත් වීමට පටන් ගනී. තාපය නිසා අයිස් සෘජුවම වායු බවට පත් වෙයි. මෙම වායු සහ දූවිලි අංශු ධූමකේතුවේ හරය වටා වලාකුළක් ලෙස පැතිරෙයි. මෙය කෝමා (Coma) ලෙස හැඳින්වෙයි.
අබිරහසක්
ධූමකේතුවක් යැයි කීවත්, 3I/ATLAS, එසේ නොවේ යැයි පවසන විද්‍යාඥයෝ ද සිටිති. හාවඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥයකු වන මහාචාර්ය ආවි ලෝබ් ඒ අතරින් කෙනෙකි. “3I/ATLAS ධූමකේතුවක් නොවේ වෙන්න පුළුවන්. එය ධූමකේතුවක් යැයි අපට නිවැරදිව කියන්න බැහැ. එය අතිවිශාලයි. එසේ නොවේ නම්, එහි දීප්තිය අපට පුදුමයක් වනු ඇත. කවුරුද දන්නේ. එය විශාල පිටසක්වළ යානයක් වීමටත් බැරි නැහැ” යැයි මහාචාර්යවරයා පවසයි. මහාචාර්ය ආවි ලෝබ් යනු අන්තර් තාරකා වස්තූන් (interstellar objects) සම්බන්ධයෙන් නිරන්තරයෙන්, ආන්දෝලනාත්මක අදහස් පළ කරන විද්‍යාඥයෙකි.
පෘථිවියට අනතුරක් නැහැ
මේ වනවිට,3I/ATLAS, ඇත්තේ, පෘථිවියේ සිට සැතපුම් මිලියන 420ක් (කිලෝමීටර් මිලියන 670ක්) දුරිනි. නාසා ආයතනය පුරෝකථනය කරන්නේ, එය මෙම වසරේ ඔක්තෝබර් 30 වන දින සූර්යයාට ආසන්නතම ලක්ෂ්‍යයට ළඟා වන බවත්, එය සැතපුම් මිලියන 130ක් (කිලෝමීටර් මිලියන 210ක්) දුරින් - අඟහරුගේ කක්ෂයට මදක් ඔබ්බෙන් ගමන් කරනු ඇති බවත්ය. වාසනාවකට මෙම වස්තුව පෘථිවියට කිසිදු තර්ජනයක් එල්ල නොකරන අතර, එය ආසන්නතම ලක්ෂ්‍යයේදී සැතපුම් මිලියන 150ක් (කිලෝමීටර් මිලියන 240ක්) පමණ දුරින් පෘථිවියට අනතුරක් නොමැතිව පෘථිවිය පසුකරනු ඇත.
මීට පෙර ආ අමුත්තෝ
අන්තර් තාරකා අවකාශයේ සිට, අන්තර් තාරකා වස්තූවක් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මීට පෙර අවස්ථා දෙකකදී, අන්තර් තාරකා වස්තූන් දෙකක්, අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී, සෞරග්‍රහ මණ්ඩලයේ සැරිසරා ආපසු ඒවා පැමිණි ස්ථානයට ගිය බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. එසේ පැමිණි වස්තූන්ගෙන් එකක් ද අබිරහසකි. එම වස්තුව අසාමාන්‍ය හැඩැති ග්‍රහකයකි. අනෙක නම් පැහැදිලිවම ධූමකේතුවකි. නැතිනම් වල්ගාතරුවකි.
ඕමුවාමුවා
මීටර් 200 ක විෂ්කම්භයක් ඇති Oumuamua (ඕමුවාමුවා) යනු දැවැන්ත සුරුට්ටුවක හැඩය ගත් එම ග්‍රහකයකි. 2017 වසරේ දී මෙය මුලින්ම නිරීක්ෂණය කරන ලදී. මෙය හඳුනාගත් පළමු අන්තර් තාරකා වස්තුව වන අතර, මෙහි හැඩය පමණක් නොව, අසාමාන්‍ය දීප්තිය ද විද්‍යාඥයන්ගේ මවිතයට හේතුවක් විය. මහාචාර්ය ආවි ලෝබ් පවා ඕමුවාමුවා සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කර ඇත. විද්‍යාඥයන් බොහෝ දෙනකුගේ අදහස වන්නේ, අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වුණු මෙය පිටසක්වළ යානයක් විය හැකි බවය. ඕමුවාමුවා යන වදනෙහි අරුත, ඈත සිට ආ පණිවුඩකරුවා යන්නය.
බොරිසොව්
අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වුණු දෙවැනි අන්තර් තාරකා වස්තුව ලෙස සැලකෙන්නේ, 2I/Borisov (බොරිසොව්) ය. මෙය 2019 දී තාරතා විද්‍යාඥයන් විසින් හඳුනා ගන්නා ලදී. මෙය නම් සැකයකින් තොරව, පැහැදිලිවම ධූම කේතුවක් ලෙස හඳුනා ගැනුණි. එහි කෝමාවක් සහ වල්ගයක් පැහැදිලිව දක්නට ලැබුණි. මෙය සොයාගත් බොරිසොව් නමැති ආධුනික තාරකා විද්‍යාඥයාගේ නමින් නම් කිරීම සිදුවිය.
සෞරග්‍රහ මණ්ඩලයේ සීමා
සෞරග්‍රහ මණ්ඩලයේ සීමා ලෙස සැලකිය හැකි කලාප කීපයකි. කයිපර් පටිය (Kuiper Belt) එයින් පළමු වැන්නය. මෙය නෙප්චූන් ග්‍රහයාගේ කක්ෂයෙන් ඔබ්බට විහිදෙන, අයිස් සහිත වස්තූන්ගෙන් සමන්විත දැවැන්ත තැටියක් වැනි කලාපයකි. ප්ලූටෝ වැනි වාමන ග්‍රහලෝක බොහොමයක් පිහිටා ඇත්තේ මෙම කලාපයේ යි. දෙවැනි සීමාව වන්නඌට් වළාව (Oort Cloud) ය. මෙය කයිපර් පටියටත් වඩා ඈතින් පිහිටා ඇති, සෞරග්‍රහ මණ්ඩලය වටා ගෝලාකාරව විහිදෙන බවට උපකල්පනය කරන ලද අයිස් සහිත වස්තූන්ගෙන් සමන්විත දැවැන්ත වලාවකි. දිගු කාලීන ධූමකේතු බොහොමයක් ආරම්භ වන්නේ මෙම කලාපයෙන් බව විශ්වාස කෙරේ. තෙවැනි සීමාව වන්නේ හෙලියෝපෝස (Heliopause) යයි. මෙය සූර්ය සුළඟ (solar wind) අන්තර් තාරකා මාධ්‍යය (interstellar medium) සමග ගැටෙන සෞරග්‍රහ මණ්ඩලයේ පිටතම මායිමය. මෙය සූර්යයාගේ බලපෑම අවසන් වන සීමාව ලෙස සැලකිය හැකිය.
අන්තර් තාරකා අවකාශය
සෞරග්‍රහ මණ්ඩලයේ අවසාන මායිම වන හෙලියෝපෝසය පසු කළ විට අන්තර් තාරකා අවකාශයට ඇතුළු වෙයි. මෙය මන්දාකිණියක් තුළ තාරකා අතර පවතින අවකාශයයි. මෙම අවකාශය හිස් යැයි සිතුවත්, එහි වායු (ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් සහ හීලියම්), දූවිලි අංශු, ප්ලාස්මා සහ විවිධ විකිරණ අඩංගු වේ. නිහාරිකා (Nebulae) වැනි දේ මෙම අන්තර් තාරකා අවකාශයේ දක්නට ලැබේ.
ග්‍රහ මණ්ඩල
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත වෙනත් තාරකා වටා කක්ෂගත වන ග්‍රහලෝක බාහිර ග්‍රහලෝක ලෙස හැඳින් වෙයි. මේ වන විට දහස් ගණනක් බාහිර ග්‍රහලෝක සොයාගෙන ඇති අතර, ඒවායින් සමහරක් පෘථිවියට සමාන ලක්ෂණ පෙන්වන අතර ජීවය පැවතිය හැකි හිතකර කලාපවල පිහිටා තිබිය හැකිය. අප සූර්යයා මෙන්, අන්තර් තාරකා අවකාශය පුරා වෙනත් තාරකා මිලියන ගණනක් විහිදී ඇත. බොහෝ තාරකා තමන්ගේම ග්‍රහලෝක පද්ධති සමග පවතී. අපට ආසන්නතම තාරකා පද්ධතිය වන්නේ, ආලෝක වර්ෂ 4.2 ක් පමණ දුරින් පිහිටි ඇල්ෆා සෙන්චුරිය.
මන්දාකිණි
සෞරග්‍රහ මණ්ඩලය අයත් වන්නේ ක්ෂීරපථය (Milky Way) නම් වූ දැවැන්ත මන්දාකිණියටයි. මන්දාකිණියක් යනු ගුරුත්වාකර්ෂණය මගින් එකිනෙක බැඳී ඇති තාරකා බිලියන ගණනක්, ග්‍රහලෝක, වායු, දූවිලි සහ අඳුරු පදාර්ථවලින් සමන්විත දැවැන්ත පද්ධතියකි. ක්ෂීරපථය විශ්වයේ ඇති මන්දාකිණි මිලියන බිලියන ගණනකින් එකක් පමණි. මේවා විවිධ හැඩයන්ගෙන් යුක්තය. අපට ආසන්නතම විශාල මන්දාකිණිය වන්නේ ඇන්ඩ්‍රොමීඩා (Andromeda) මන්දාකිණියයි. එය ආලෝක වර්ෂ මිලියන 2.5 ක් පමණ දුරින් පිහිටා ඇත.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments