අවුරුදු 15න් පහළ ක්‍රිකට් සංවර්ධන සංචිත දෙකක්
- 2020-02-05 10:53:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022 සහ 2024 වසර වල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා සාර්ථක කණ්ඩායමක් බිහි කිරීම ඉලක්ක කොට දීර්ඝ කාලීන සැලසුමක් ලෙසින් වයස අවුරුදු 15 න් පහළ සංවර්ධන සංචිත දෙකක් කොළඹ සහ දඹුල්ල ප්‍රදේශ වල ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අවුරුදු 15 න් පහළ අන්තර් දිස්ත්‍රික් සහ අන්තර් පළාත් තරගාවලියන්හි දස්කම් දක්වන ලද ක්‍රීඩකයින් 54 දෙනෙකු මෙම වැඩසටහනට ඇතුළත්ව සිටියි.
අදියර 2 ක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු අදියර, ක්‍රීඩකයින් 35 දෙනෙකුගේ සහභාගිත්වයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් දෙවැනි අදියර මහනුවර, මාතලේ, යාපනය, අනුරාධපුරය සහ මඩකලපුව යන ප්‍රදේශවල ක්‍රීඩකයන් 19 දෙනෙකුගේ සහභාගිත්වයෙන් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් මේ වන විට ආරම්භ කර තිබේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර ඇති ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී ටිම් මැක්කැස්කිල් මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා හිටපු ක්‍රිකට් නායකයකු වන අනුර තෙන්නකෝන් මහතා පත් කර තිබේ. ඔවුන්ට අමතරව ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ සේවයේ නියුතු රෝයි ඩයස්, සුමිත්‍ර වර්ණකුලසූරිය, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ ධම්මික සුදර්ශන මෙහි පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති.
දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසු පිහිටුවන ලැබූ පුහුණු සංචිතයට අයත් සියළු ක්‍රීඩකයින්ගේ තොරතුරු රැස්කිරීම මෙන්ම ක්‍රීඩක දක්ෂතා සහ දුර්වලතා ගොනුකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බුද්ධි කේන්ද්‍රය මගින් සිදුකරනු ඇත. මෙම පුහුණු වැඩ සටහනට අනුව තෝරා ගනු ලබන ක්‍රීඩකයින් 54 දෙනා ප්‍රථමයෙන්ම හය මසක පුහුණුවකට සහ දැනුවත් කිරීමේ වැඩ සටහනකට යොමු කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩා මෙවලම්, නවාතැන් ඇතුළු සියළුම පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments